මහා නගර සභා, නගර සභා ආඥා පනත් සංශෝධන කඩිනම් කිරීමට අගමැති උපදෙස්දෙයි

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. ඒ මහතා මේ බව අවධාරණය කර ඇත්තේ පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීයි.

ඒ අනුව අදාළ සංශෝධනය සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි දී සහතික විය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සමඟ පවතින ගැටලු සහ කසළ කළමනාකරණය හා විගණනයට අවශ්‍යය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් මෙම හමුවේ දී අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කරන ලදී.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් පළාත් පාලන ආයතනවල අදායම සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, මෙම ආයතනවල පවතින සේවක හිඟය අර්බුද රැසකට මුල් වී ඇති බවත් මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ ඔස්සේ ඊට අදාළ බඳවා ගැනීම් සිදු කළ හැකි බවත්, බලය ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ ජනතා පොරොන්දු ඉටු කිරීම එම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යතුමා සිහිගැන්වූයේය.

2015 බලයට පත්වූ රජය විසින් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සියයට 90ක් පමණ නැවත පළාත් පාලන ආයතනවලට පවරා ඇතැයි මෙම හමුවේ දී හෙළිදරව් විය.

එසේම ඒ ඒ පළාත් පාලන ආයතනවලට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අනිවාර්යෙන් එම ආයතනයේ නියෝජනයක් තිබිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මාර්තු 01 වැනිදා සිට කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිල හමුවීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ රණවීර මහතා පැවැසීය.

පළාත් පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේ දී මහජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට ඔවුන්ට පහසුවක් වනපරිදි එම කටයුතු සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී සියලු පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

නැගෙනහිර පළාත් පාලන කොමසාරිස්වරයා‍ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ පළාත් පාලන නියෝජිතයන් ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ද දැනුවත් කළා. අදාළ කොමසාරිස්වරයා මෙම හමුවට පැමිණ සිටියේද නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *