මහපරිමාණ සහල් මෝල් වටලයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහපරිමාන සහල් මෝල් හිමියන් සතුව තිබූ සහල් මෙට්‍රික් ටොන් 1,000ක තොගයක් රජයට පවරාගෙන සතොස වෙත භාරදී තිබේ.

ඒ වෙළෙඳපොළ වෙත නිකුත් නොකර රඳවාගෙන තිබූ සහල් තොගයකි.

අරලිය, නිපුන සහ රත්න යන ප්‍රමුඛ පෙලේ සහල් ව්‍යාපාරිකයින් සතුව තිබූ සහල් තොග ප්‍රමාණයක් එලෙස රජයට පවරාගෙන ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා ඇතුලු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් පොළොන්නරුවේ පිහිටි අදාළ සහල් මෝල් වෙත පැමිණ එම සහල් තොග රජය භාරයට ගෙන තිබේ.

අද පෙරවරුවේ මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට අයත් නිපුන සහල් මෝල වෙතද පැමිණි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් එහි තිබූ සහල් තොගයක් ද රජයට පවරාගෙන ඇත.

පසුව ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝල වෙත පැමිණි නිලධාරින් පිරිස එහි තිබූ සහල් තොගයක් ද රත්න සහල් මෝලේ තිබූ තවත් සහල් තොගයක් ද රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව සහල් මෝල් 08ක තිබී සහල් මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

ඊට අමතරව රත්න සහල් මෝලේ සහල් තොග කිලෝග්‍රෑම් මිලියන 41ක් ඇති බවට ද අදාළ නිලධාරින් අනාවරණය කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝල වෙත පැමිණෙන අවස්ථාවේ එය ඉදිරිපිට ඔහුට හිතවත් ගොවීන් පිරිසක් සහ මහසංඝරත්නය රැඳී සිටිමින් රජයේ මෙම ක්‍රියාකලාපය විවේචනයට ලක්කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් රජයට පවරා ගත් සහල් තොග සතොසට අයත් ලොරි රථවලින් රැගෙන යෑමට පියවරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *