පාස්කු ප්‍රහාරය ගැන සැකපිට මාස 6 රඳවාගෙන සිටි තිදෙනාගෙන් පොලිස් නිලධාරීන් සමාව ඉල්ලයි

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  සිංහල ක්‍රමයට ඔවුන්ට  ආචාර කර සමාව ඉල්ලා සිටියේය.

තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්,  සෙනුල් ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීම සිදුකළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන් යළි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එස්  තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති  රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් මෙම සමාව අයදීම සිදු කර තිබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බවයි.

2022 වසරේදී එම නඩු වලින් ඔවුන්  නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍යවලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එහෙත් පසුව තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේතුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *