පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය පක්ෂය මාරු කිරීමට නීතිමය හැකියාවක් නෑ – සුමන්තිරන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය පක්ෂය මාරු කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එවැනි ක්‍රියාවලට අනුබල දීම තුළින් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාම අභියෝගයට ලක් විය හැකි බවත් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්දිරන් මහතා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු විසින් ඉදිරිපත් කර තිබෙන  පෙත්සම් යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය

විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙයි.

මෙහිදී  වගඋත්තරකාර සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ සාමාජිකයින් වශයෙන් සිටි හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායකාර ආණ්ඩු පක්ෂයට එක්ව අමාත්‍ය ධූර ලබා ගැනීම තුළින්ම ඔවුන් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරගෙන තිබෙන බව සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යනුවෙන් පැහැදිලි බෙදීමක් පාර්ලිමේන්තුව තුළ පැවතිය යුතු බවත් යම් මන්ත්‍රීවරයකු යම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු එම බෙදීම උල්ලංඝනය කරමින් ආණ්ඩු පක්ෂයට එක් වුවහොත්  ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපතී නීතිඥ සුමන්තිරන් මහතා ඊට අනුබල දීමක් සිදු වුවහොත් වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇති බවත් අනතුරු අඟවා සිටියේය.

යම් පක්ෂයක සාමාජිකයකුගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට තීන්දුවක් ගත් පසුව එය අවසානාත්මක තීන්දුව වනු ඇතැයි ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා එවැනි තීන්දු ගැනීම සඳහා විනය පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය නොවන බවත් කියා සිටියේය.

මැතිවරණවලදී මහජනතාව ඡන්දය ලබා දෙන්නේ පක්ෂයට බවත් පක්ෂයේ හා ජනතාවගේ පරමාර්ථවලට පටහැනිව කටයුතු කිරීමට තේරීපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම්කරුවන් ආණ්ඩු පක්ෂයට එක්වීම තුළින් ඔවුන් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරගෙන තිබෙන බව ඔවුන් විසින්ම ඉදිරිපත් කළ කරුණු ඔස්සේ තහවුරු වන බවත් ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය  නීත්‍යානුකූල බවට තීන්දු කොට ඔවුන්ගේ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුර පෙත්සම් විභාගය මේ මස 14 වනදා තෙක් කල් තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *