පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවම තීරණයක් නෑ

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේ වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර, කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.

අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා හෙට (01) සිට යළි ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

මේ අතර, එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, බස්රථ සඳහා ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතු බවය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පවසා සිටියේ, හෙට දින සිට සියලුම බස්රථ ධාවනයට එක්කරන බවත් එන්නත්කරණය කළ කාඩ් පතේ ඡායාපිටපත් රැගෙන යෑම ප්‍රායෝගික නොවන ක්‍රියාවත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *