නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු සැලකිල්ලට ගෙන ගුවන්තොටුපොළ හෙට සිට විවෘත කරනවා – සංචාරක ඇමැති

සංචාරකයන් සඳහා හෙට (21) සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වයක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු පවසා සිටින්නේ. ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පැවසිය.

හෙට දිනයේ සිට සංචාරකයින්ට රට විවෘත කිරීම වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මස ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියෙන් ලබාගත් අත්දැකීම් හා අඩුපාඩු සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා යැයි පැවසීය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවසුවේ, යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් 1500ක පමණ පිරිසෙන් කොවිඩ් ආසාදිත බවට පත්ව සිටියේ හතරදෙනකු පමණක් බවත්, කිසිදු අවස්ථාවක ඔවුන්ගෙන් සමාජයට රෝගය බෝවීමක් සිදුනොවූ බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්ය.

එසේම, ගුවන්තොටුපළ විවෘත කර සංචාරකයන් මෙරටට ගෙන්වීම සඳහා පාවිච්චි කෙළේ ද මෙම අත්දැකීම බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *