තෙල් පෝලිම්වලට නව නීතියක්…

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පෝලිම් තුළ රඳවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

එලෙස රඳවා ගනු ලබන අවසන් වාහනය අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළක්වීමට කටයුතු කළ යුතු බවත් බාධකයේ ඒ බැව් පැහැදිලිව පෙනෙන පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබේ. එමෙන්ම මාර්ග බාධකය දැමීමෙන් පසු කුමන හේතුවක් නිසා කිසිදු වාහනයක් එම පෝලිමට ඇතුළු කිරීම හා තවදුරටත් එම පෝලිම අසල කිසිවකුටත් රැඳී සිටීම වැළැක්වීමටද පියවර ගත යුතු බවට හෙතෙම සියලුම පොලිස් ස්ථනාධිපතිවරුන්ට නියෝග නිකුත් කර ඇත.

එමෙන්ම ඉන්ධන පිරවුම්හල් වෙත දිනකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව එම ඉන්ධන එක් එක් වාහන කාණ්ඩය යටතේ කොපමණ වාහන සංඛ්‍යාවකට නිකුත් කළ හැකිද යන්න ගණනය කොට එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පිරවුම් හල් වෙත රඳවා සෙසු වාහන ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දන්වා ඇත. එසේම දිනකට ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ හැකි ඉන්ධන ප්‍රමාණය සහ වාහන ප්‍රමාණය පිළිබඳව පරිභෝගිකයන් දැනුවත් කරන ලෙසත් අදාළ වාහනයේ අවසන් අංකය සඳහා ලබාදී ඇති ඊළඟ දිනය පිළිබඳවත් ඔවුන්ට දැන්වීමකින් හෝ වාචිකව පවසන ලෙසටද පොලිසිය උපදෙස් දී තිබේ.

එමෙන්ම අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා ඉන්ධනහලේ රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් විසින් එම ඉන්ධනහල වෙත පැමිණෙන වාහන අහඹු ලෙස පරීක්‍ෂා කළ යුතු බවත් ව්‍යාජ අංක තහඩු භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් එමඟින් අනාවරණය කර අවශ්‍ය නෛතික පියවර නොපමාව ගත යුතු බවටද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබේ.

ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේදීද ඇතැම් පුද්ගලයන් විසින් (විශේෂයෙන්ම ත්‍රිරෝද සහ යතුරුපැදි) ඉන්ධන රැස්කොට නීති විරෝධී ලෙස ගබඩා කර තබාගෙන අධික මිල ගණන් යටතේ අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලබාගෙන එවැන්නන් අත්අඩංගුවට ගෙන එම ස්ථාන වැටලීමටද කටයුතු කරන ලෙස ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා තිබේ.

එමෙන්ම ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා මහජනතාව සමඟ සුහදව කටයුතු කර ඔවුන්ගේ සහාය උපරිම අන්දමින් ලබා ගන්නා ලෙසද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *