චීන

චීන පොහොර නැවත පරීක්ෂාවට තෙවැනි පාර්ශවයක් ?

අවස්ථා දෙකකදී හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂා කිරීමට එම සමාගම ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාව විසින් චීන සමාගමකින් මිලට ගැනීමට සූදානම් වූ පොහොර තොගයේ හානිකර බැක්ටීරියා ඇතැයි මෙරට පරීක්ෂාවකින් තහවුරු කෙරුණු අතර ඒ අනුව එම පොහොර තොගය භාරගැනීම රජය ප්‍රතික්ෂේප කළේය.

රජය එම තීරණය ගනු ලැබුවේ, ජාතික ශාක නිරෝධායන සේවය අවස්ථා දෙකකදී සිදුකළ පරීක්ෂණවලදී , අදාළ සමාගමෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇතැයි තහවුරු කළ නිසාය.

කෙසේ වෙතත් එම චීන සමාගම ජාතික ශාක නිරෝධායන සේවය මඟින් සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර සිටියේය.

මේ අතර, මෙරට තුළ ජෛව පොහොර නිෂ්පාදනය සඳහා කොළඹ කොමෂල් පොහොර සමාගම සහ පෝලන්තයේ රෙජිනා පර්පුරියා ෆන්ඩ් සමග ඊයේ (26) රාජ්‍ය හවුල්කාර ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍යවරයා චීන කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ප්‍රශ්නය – චීනයෙන් ගෙන්වූ පොහොර නැව සම්බන්ධයෙන් ඊයේ චීන තානාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබිලා තියෙනවා. ඔවුන් ඉල්ලීමක් කරා ද එය නැවත පරීක්ෂා කරන්න කියලා ?

“ඒ අය ඉල්ලීමක් කළේ අපේ රටේ තියෙන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බෑ. මොකද ඒවා අනුමැතිය ලත් ඒවා නෙමෙයි. ඒ නැව හරවලා යනවා. අපි කෙලින් ම කිව්වා මෙහෙ බාන්නත් එපා. මෙහෙ ගේන්නත් බැහැ කියලා. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න කියලා අපි කිව්වා, අපි දෙගොල්ලෝම කැමති වන තුන්වන පාර්ශවයකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා. ඊට පස්සේ අපි තීරණයක් ගමු කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *