ගනේමුල්ලේ සංජීවගේ විමර්ශන මැද්දට පැන්න කාන්තාව අල්ලස් දෙන්න යයි – හඬපට එළියට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් තිබේ.

එහිදී ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවට සඳහන් කරන කාන්තාවක් නිලධාරින් සිටින ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට එම නිලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ නීතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, නීතිඥවරියගේ උත්සාහය ව්‍යර්ථවූ පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමටද උත්සාහ කර ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *