ඉන්දියාවේ මධ්‍යම කොල්කටා ප්‍රදේශයේ මිර්සා ගාලිබ් වීදියේ හෝටලයක බදාදා අලුයම ඇති වූ දරුණු ගින්නකින් දරුවෙකු සහ කාන්තාවක ඇතුළු අවම වශයෙන් 9 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ තවත් හෝටලයක ගින්නක් ඇතිවී දින දෙකකට පසුව මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.
නිලධාරීන් පැවසුවේ සඳුදා බීර්භූම් දිස්ත්‍රික්කයේ තාරාපීත් ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි. එම ගින්න විදුලි කෙටි පරිපථයක් හේතුවෙන් හටගෙන ඇති බවට සැක කෙරේ.
පොලිස් ආරංචි මාර්ග අනුව, බදාදා අලුයම 2.00ට පමණ හටගත් කොල්කටා ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ පහක් යොදවා තිබේ.
ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා පොලිසිය සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ ඇත. තුවාල ලැබූවන් ආසන්න රෝහලකට ඇතුළත් කර තිබේ.
පොලිස් නිලධාරියෙකු පැවසුවේ දැඩි දුමාරය හේතුවෙන් ගිනි නිවන භටයන්ට පඩිපෙළ ඔස්සේ ඉහළ මහල් වෙත ළඟාවීම දැඩි අසීරුතාවක් වූ බවයි. මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
ගින්නෙන් සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීම සහ ගින්නට හේතුව සොයා ගැනීම ප්රමුඛ කාර්යය බවත්, ගින්න මේ වන විට මැඩපවත්වා ඇති අතර සිසිලනය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
බටහිර බෙංගාල ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ද අදාළ හෝටල් ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටා තිබේ.
මේ අතර, තාරාපීත් ප්‍රදේශයේ හෝටලයේ ගින්න සම්බන්ධයෙන් එහි පාලකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පැමිණිල්ලක් (FIR) ගොනු කිරීමෙන් අනතුරුව පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.


