කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රු. 520,000ක දඩයක් – රු. 400 පරීක්ෂණයකට රු. 500ක් අයකරලා

රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනික ද්‍රව්‍ය හා ඉඳිකටු තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් කෑගල්ල කොළඹ පාරේ පිහිටි Candella Hospital (Pvt) Ltd. ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

ඒ අනුව, රෝහලට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබූ අතර ඒවා වූයේ,

  • නියමිත පාලන මිල රුපියල් 400ක් වන සම්පූර්ණ රුධිර ගණනය (FBC) පරීක්ෂණයක් සඳහා රුපියල් 500ක් අය කිරීම.
  • රෝහල් රසායනාගාරයේ කල් ඉකුත් වූ HCV Rapid Test Cassettes පැකට් 20ක් සහ Clinical System Analysers සඳහා භාවිත කරන කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය තබා ගැනීම.
  • රෝහල් ඖෂධහලේ අලෙවිය සඳහා කල් ඉකුත් වූ UNOLOK single-use hypodermic needles පැකට් 23ක් තබා ගැනීම.

මෙම වැරදි අනාවරණය වී ඇත්තේ 2026 ජූලි 24 වැනිදා CAA නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදීය.

අගෝස්තු 6 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේදී රෝහල චෝදනා තුනටම වරද පිළිගෙන තිබේ.

ඒ අනුව, අධිකරණය විසින් සමස්ත චෝදනා සඳහා රුපියල් 520,000ක දඩයක් නියම කර ඇත.

කල් ඉකුත් වූ ඖෂධ, රසායනික ද්‍රව්‍ය හෝ වෛද්‍ය උපකරණ භාවිත කරන හෝ පාලන මිලට වඩා වැඩි මුදලක් අය කරන පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස CAA ජනතාවගෙන් ඉල්ලා සිටී.

එවැනි පැමිණිලි කාර්යාල වේලාවන් තුළ 1977 දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *