කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අයහපත් කාලගුණික අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

නිරිතදිග මෝසම ශක්තිමත් වීමත් සමඟ අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය වැඩි වීමට ඉඩ ඇත.

මෙම කාලය තුළ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ද වැසි සහ සුළං තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී.50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කළා.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඔවුන්ට හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *