උණට බෙහෙත් ගන්න ගිය දැරියට අත අහිමිවෙයි

රෝගී තත්ත්වයක් මත යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු දැරියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදුන් පසු ඇයගේ දකුණු අත ඉවත් කිරීමට සිදුව ඇති පුවතක් වාර්තාවුණි.

යාපනය මල්ලාගම් හි අවුරුදු 8ක් වයසැති දැරියක් උණ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරෙන්නේ ඉකුත් 22 වනදාය.

ඉන් දින කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග දැරිය පසුගිය 25 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

දැරියට ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලා හරහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙයි.

එහිදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැරියගේ දකුණු අත අක්‍රීය වී ඇති බවත් දැරියගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කළ බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ නොසැලකිලිමත් බව හේතුවෙන් දැරියට අත අහිමි වූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *