පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අගුනාවල ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබේ.
දුම්රිය ප්‍රවාහන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ මාර්ගයට වැටී ඇති පස් ඉවත් කර බාධාව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
මේ අතර, ඊයේ අලුයම පේරාදෙණියේ සිට කොළඹ බලා ධාවනය වූ උදෑසන කාර්යාල දුම්රියක් ගංගොඩ ප්‍රදේශයේදී පීලි පැන තිබිණි.
පස් සහ ගල් සහිත කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
2025 නොවැම්බර් මාසයේ ඩිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය.
ඒ අනුව කොළඹ සිට උඩරට බලා ධාවනය වූ දුම්රිය රඹුක්කන දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබිණි.
හානි වූ ඉතිරි දුම්රිය මාර්ග කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මාස 10කට ආසන්න කාලයක් සිදුකිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 වැනිදා උත්සවාකාරයෙන් යළි ආරම්භ කෙරිණි.
අද සතියේ පළමු රාජකාරි දිනය වූ බැවින් එහි පළමු කාර්යාල දුම්රිය මගීන් රැගෙන අලුයම 4.35ට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පිටත්ව තිබේ.
කෙසේ වෙතත්, එම දුම්රිය ඉහළකොට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයේදී පීලි පැන තිබිණි.
පස් සහ ගල් සහිත කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ අතර, එය රියැදුරුට පැහැදිලිව නොපෙනීම හේතුවෙන් දුම්රියේ එන්ජිම සහ එක් මැදිරියක් පීලි පැන අනතුර සිදුව තිබේ.
අනතුරෙන් පසු දුම්රියේ සිටි සියලුම මගීන් විකල්ප මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණ තිබූ අතර, එතැන් සිට බස් රථ මගින් රඹුක්කන වෙත ගමන් කර තිබේ.
රඹුක්කන වෙත පැමිණි මගීන් කොළඹ බලා රැගෙන යාම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන රඹුක්කන සිට අතිරේක දුම්රියක් ධාවනය කිරීමටද පියවර ගෙන තිබේ.
මේ අතර, දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් සහ ගල් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද පස්වරුවේ යළි ආරම්භ කර තිබේ.
ඒ අනුව ඊයේ කොළඹ කොටුව සිට දුම්රිය දෙකක් ධාවනය කර තිබේ. එක් දුම්රියක් පස්වරු 4.35ට කොළඹ කොටුව සිට ගම්පොළ දක්වාත්, අනෙක් දුම්රිය පස්වරු 5.15ට කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වාත් ධාවනය කර ඇත.
මෙවැනි තත්ත්වයක් පවතින අතරතුර ඊයේ පස්වරු 6.20ට පමණ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අගුනාවල ප්‍රදේශයේදී තවත් පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා විය.


