ඊශ්‍රායලය යුද තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් එරට යුද තත්ත්වයක් ප්‍රකාශ පත් කර තිබේ.

ඒ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා යාමෙන් පසුවය.

පලස්තීනයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් දෙරටේම පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන් 100ක් පමණ තවමත් පසුවන්නේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ බව වාර්තා වේ.

ගාසා තීරයේ පාලනය උසුලන හමාස් සංවිධානය ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඊයේ (07) අලුයම් කාලයේ සිටය.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කළ රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කරමින් ආරම්භ වූ ප්‍රහාරය නම් කර තිබුණේ අල් අක්සා ප්‍රහාරය ලෙසය.

ඒ, පලස්තීන ජාතිකයින්ගේ ශුද්ධ දෙවොලක් වූ අල් අක්සා දේවස්ථානය ඉලක්ක කරගනිමින් ඉකුත් සැප්තැම්බර් මස එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය ක්‍රියාත්මක වීම හේතුවෙනි.

ප්‍රහාරය යටතේ ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් රටට ඇතුළුවීමට හමාස් සටන් කරුවන් සමත් වුයේ ඊශ්‍රායලයේ දැඩි  ආරක්ෂක වළලු බිඳ හෙළමිනි.

අනුකම්පා විරහිතව ක්‍රියාත්මක වූ හමාස් ප්‍රහාරය යටතේ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කෙරුණි.

මේ වනවිටත් ඊශ්‍රායලය තුළ ස්ථාන 8ක හමාස් සටන්කරුවන් සහ ඊශ්‍රායල හමුදා අතර දරුණු ගැටුම් පවතින බව වාර්තා වේ.

දැනට හමාස් ප්‍රහාරවලින් ඝාතනය වී ඇති ඊශ්‍රායල සිවිල් වැසියන් සහ හමුදා සෙබළු ගණන 500 ඉක්මවා තිබේ.

එමෙන්ම මේ වනවිටත් කාන්තාවන්, ළමයින් ඇතුළු ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සෙබළු 100කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ පසුවන බව ඊශ්‍රායලය ද නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඊශ්‍රායලයට අනුව ගැටුම්වලින් මියගිය හමාස් සටන්කරුවන් ගණන 400 ඉක්මවා ඇත.

මේ අතර පලස්තීන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ගාසා තීරයේ ඉලක්ක 150ක් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබුණි.

ගෙවුණු පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් 20ක්ද ඇතුළුව මියගිය පලස්තීන ජාතිකයින් ගණන 300කට අධික වන අතර, තුවාල ලැබූවන් ගණන 2,000කට ආසන්න බව සඳහන් වේ.

මේ අතර මෙය කළු දිනයක් ලෙස නම් කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු හමාස් සංවිධානය වෙත අනතුරු ඇඟවූයේ බරපතළ පළිගැනීමකට මුහුණදීමට සූදානම් විය යුතු බව පවසමිනි.

එමෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලය වෙත ප්‍රහාර අරඹා තිබුණි.

ලෙබනනය වෙත ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූයේ ඒ අනුවය.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ප්‍රහාර සඳහා ඉරානයේ සහාය තමන්ට හිමිවූ බවය.

තවද හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තුව තුළ සහාය පළකෙරුණි.

එමෙන්ම ප්‍රහාරයට සහාය පළකරමින් ටෙහෙරාන් අගනුවර සැණකෙළි ස්වරූපයක් ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *