ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු පළමු වරට දිස්ත්‍රික්කයකින් 1,000 ඉක්මවූ දෛනික ආසාදිතයින් ඊයේ දිනයේ වාර්ත වී තිබුණි.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් දෛනික ආසාදිතයින් 1,004 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මෙරටින් දෛනික ආසාදිතයින් 3,306 දෙනෙකු හඳුනාගැනුණු අතර එම ආසාදිතයින් දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා විය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 501 දෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් -19 දෙවන රැල්ල ආරම්භයෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 50,000 සේ සීමාවද ඉක්මවා ගොස් ඇත.

කළුතරින් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 104,109ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව බදුල්ල 251ක්, මාතර 167ක්, යාපනය 152ක්, අනුරාධපුරය 137ක්, රත්නපුරය 122 ක්, ගාල්ල 120ක්, කුරුණෑගල 113ක්, කෑගල්ල 105ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී ඇත.

කෙසේවෙතත් මහනුවර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් ද 100කට අඩු දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 192,547ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 160,714 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෙසේවෙතත් තවත් 30,267 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් ආසාදිත මරණ 39ක් ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,566 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරට ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 191ක් දක්වා ඉහළ නංවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *