ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 9 ක සියයේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,510ක් දක්වා ඉහළ ගියේය.

දෛනික කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව දෙදහසේ සීමාව ඉක්මවා ගිය සිව්වන අවස්ථාව මෙය වෙයි.

ඊයේ දිනයේදී වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 398කි.

ගම්පහ 384ක්, කොළඹ 155ක් ලෙස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 937ක් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව මාතලේ 189ක්, ගාල්ල 181ක්, මහනුවර 178ක්, මාතර 143ක්, මොනරාගල 140ක්, හම්බන්තොට 117ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව 1 කෝටි 76,981 දෙනෙකු කොවිඩ් මර්දන එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර විසි දෙලක්ෂ 54,887 දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.

ඊයේ දිනය තුළ සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 01 ලක්ෂ 14,997 දෙනෙකුට එහි සහ දෙවන මාත්‍රාව 31,223 දෙනෙකුට ලබාදී ඇත.

මීට අමතරව කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයින් 69,266 දෙනෙකුට සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 432ක් සඳහා ලබාදී ඇති බවද වාර්තා වෙයි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 311,349 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 278,910කි.

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 27,931ක් වන අතර සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *