ෆයිසර්

අවුරුදු 20ට වැඩි සියලුදෙනාට ෆයිසර් එන්නත් මාත්‍රාවක්

වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14.5ක් මිලදී ගැනිමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

“ඊයේ දිනයේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්නත් ප්‍රමාණය ඉදිරියේ දී අප සැලසුම් කරලා තියෙන්නේ මේ වෙනවිට පළමු හා දෙවන මාත්‍රාව සම්පූර්ණ කරලා තියෙන අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලුදෙනාටම බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට. එහි ආරම්භක වැඩපිළිවෙල ලෙස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අය, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ට හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීමට නියමිතයි ඉදිරියේ දී.”

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මේ වන විට මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහණයෙන් සියයට 83ක ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.

මේ අතර, ගත වූ දිනයේ පුද්ගලයින් 141,149 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබදී ඇත.

එහිදී පළමු එන්නත් මාත්‍රාව 15,502 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 125,647 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *