කුසලධම්ම

අපවත් වී වදාළ කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා

මෙරට ශාසන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නිමා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි පසුගිය 27 වනදා මධ්‍යම රාත්‍රියේ අපවත් විය.

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන ඉරිදා සිදුකිරීමට නියමිතය.

පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් 1937 පෙබරවාරි 20 වනදා කුරුණෑගල වැලමිටියාගම නම් ගම්මානයේදී උපත ලද ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමි පැවිදි දිවියට එළඹෙන්නේ 1954 ජනවාරි 07 වනදාය.

මල්වතු මහා විහාරයේ උපෝසතාගාරයේ උපසම්පදාව ලබාගත් කුසලධම්ම හිමි 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රථම ගෞරව උපාධිය හිමිකර ගත්හ.

පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන උන්වහන්සේ ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළේ ඉන් අනතුරුවය.

1990 දී විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපතිත්වයට පත් කුසලධම්ම නාහිමි එතැන් සිට අපවත් වනතුරුම සම්බුද්ධ ශාසනය බැබලවීමට කටයුතු කළ සඟරුවනකි.

ඒ නිසාම මල්වතු මහා විහාරයේ, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමි බුරුම රජයේ අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබීය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බුද්ධ ශාසන කොමිෂන් සභාව ආදියේ තනතුරු රැසක්ද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ධුරයද හොබවමින් උන්වහන්සේ සිදුකළ ආගමික හා සමාජීය මෙහෙවර අතිමහත්ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වූ උන්වහන්සේ එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සඳහා උපාධිය පිරිනැමීමේ සෑම උත්සවයකටම අපවත්වන තුරුම සහභාගී වූහ.

විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්, වියත් සභා මැද බැබලුණේ සිනහ මුසු මුහුණින්ය.

මසකට අධික කාලයක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් ඊයේ මධ්‍යම රාත්‍රියේ අපවත් වූයේ මෙරට ශාසනයේ තවත් එක් පරිච්ඡේදයක් නිමා කරමිනි.

අපවත්වන විට උන්වහන්සේ 84වැනි වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ නාහිමිගේ ශ්‍රී දේහයට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් අද පස්වරුවේ අවසන් ගෞරව දැක්විය.

අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරු 3ට විද්‍යාලංකාර පිරිවෙන වෙත රැගෙන ආවේ රිය පෙරහරකිනි.

ජනාධිපතිවරයා විසින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරු වෙත උපදෙස් දී තිබුණේ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන ලෙසය.

ජනාධිපතිවරයා ටිව්ටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ, බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවමින් සම්බුද්ධ ශාසනයට අනුපමේය මෙහෙයක් ඉටුකළ උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් තමා සංවේගයට පත්වූ බවය.

ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ සමග නිරන්තර ලෙන්ගතුකමින් කටයුතු කළ ආදර්ශවත් ගුණගරුක මහ ‍ථෙරනමක් වන පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි අපවත්වීමෙන් ඇතිවූ හිඩැස පිරිමැසිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *