අනුරාධපුර විරෝධතාකරුවන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

සැකකරුවන්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ උතුරු මැද රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ක්‍රියාරියාකාරී උපාධිධාරින් දොළොස් දෙනෙකු සහ උපාධිධාරිනියන් එකොළොස් දෙනෙකි.

රැකියා විරහිත උපාධිධාරීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් උතුරු මැද පළාත් සභාව සතු ඇතැම් දේපල වලට යම් යම් හානි සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නොමැති බවට අධිකරණයට අවධාරණය කළ පොලිසිය සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකාර රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ උපාධිය ලබාගෙන වසර ගණනාවක් ගත වුවද කිසිදු රැකියාවක් නොලැබීම හේතුවෙන් තම සේවාදායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අසරණභාවයට පත්ව සිටින බවයි. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළා මිස තම සේවා දායකයින් කිසිදු කලහකාරී කටයුත්තකට සම්බන්ධ නොවූ බවද නීතිඥයෝ කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *