අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් සහනදායි ලෙස ලබාදීමට වූ පොරොන්දුව මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් – අග්‍රාමාත්‍ය

අතිගරු ජනාධිපතිතුමා අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් අඩු ආදායම්ලාභීන්ට සහනදායි ලෙස ලබාදීමට වූ පොරොන්දුව මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (5) පාර්ලිමේන්තුවේ දී මාස තුනකට අඩු කාලයක් තුළ රටේ අයවැය හා මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙලඳ ජාලය ලංකා සතොස,සමූපකාර වෙළඳසැල් හා කාන්තා ව්‍යවසායකයින් ඇති වෙලඳසැල්වලට ප්‍රමුඛතාවය දී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය

තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

2019 නොවැම්බර් මස 20 දක්වා පැවැති රජය විසින් 2019 වර්ෂය සඳහා අනුමත කර තිබූ අයවැය ඇස්තමේන්තු වල ප්‍රතිපාදන සියල්ලම පාහේ ඒ වනවිටත් වියදම් කර තිබුණා.මේ නිසා නොවැම්බර් – දෙසැම්බර් මාස සඳහා එම රජය විසින් කර තිබූ බොහෝ වියදම් සඳහා මුදල් නිකුත් කිරීමට භාණ්ඩාගාරයට නොහැකි වුණා.

2020 මුල් මාස 04 සඳහා පසුගිය රජය විසින් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබෙන අතර එහි ප්‍රතිපාදන සැලසුම් කර තිබුණේ 2019 වර්ෂයේ අනුමත අයවැය පාදක කර ගනිමින් රජයේ මූලික සේවාවන් පවත්වා ගැනීමට පමනයි.වියදම් ප්‍රතිපාදන නොමැතිව ගිණුම්ගත කිරීමට නොහැකි වී තිබෙනවා. මේ නිසා මුළු ආර්ථිකයම අක්‍රීය වෙලා තිබෙනවා.පොහොර සමාගම් පොහොර ආනයනය හා බෙදා හැරීමෙන් ඉවත් වෙමින් සිටිනවා. සමස්ත කෘෂිකර්මනයම පසුබෑමකට ලක් වීමේ අවධනමකට මුහුණ දී තිබෙනවා.සමස්ත නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී තිබෙනවා.බොහෝ ඉදිකිරීම් කරුවන්ගේ දේපළ වෙන්දේසි වෙමින් පවතිනවා.කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700කින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වැසී තිබෙන අතර ඉතිරි වී ඇති ප්‍රමාණය ද බැංකුවල ණය පියවා ගත නොහැකි තත්ත්වයක පවතිනව.400කට අධිකව පැවැති තේ කර්මාන්තශාලා ප්‍රමාණයක් අඩපණ වී තිබෙනවා.

බැදුම්කර වංචාව හා අදාළ වෝහාරික විගණන සම්බන්ධව මහබැංකුව හා නීතිපතිවරයා විසින් අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. එය රජයේ ස්ථවරයයි.ඊටීඅයි තැම්පත් කරුවන්ගේ මුදල් නොගෙවා අන්තනෝමතිකව විකිණීමට කටයුතු කළ වගකිවයුතු අය හඳුනාගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිටත් ජනාධිපති කොමිෂමක් පත් කර තිබෙනවා. එම තැම්පත්කරුවන්ට සාධරණයක් ඉටු කිරීම අපගේ වගකීමක්.

රැකියා විරහිත උපාධිධාරී සංඛ්‍යාව ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන අතර පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ විරෝධතා සඳහා ලැබුණේ කඳුළු ගෑස් හා අධිකරණ තීන්දු මත මර්ධනය කිරීම පමණයි.ඔවුන් සඳහා රැකියා ලබාදීමට අයදුම්පත් කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය රජය පොරොන්දු වූ පරිදි අයවැය හිඟය ජතික ආදායමෙන් සියයට 04ට අඩු වී නෑ. එය සියයට 07ක් පමණ වෙනවා. 2015 දී මා රජය භාර දුන් අවස්ථවේ දී අයවැය හිඟය තිබුණේ සියයට 5යි.නමුත් වසර 5කට පසු රජයේ ණය ද සියයට 80%ක් පමණ වෙනවා.අධික බදු හා ඉහළ පොලී අනුපාත සහිත ආර්ථිකයක් අපට භාර දී තිබෙනවා .ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය මෙම අභියෝගය භාර ගෙන තිබෙනවා. 2025 වනවිට අයවැය හිඟය සියයට 4ට අඩු මට්ටමකටත් රාජ්‍ය ණය සියයට 70% අඩු කිරීමටත් නව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්ම ජනාධිපති මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ පරිදිම ක්‍රියාත්මක කිරීමට අප බැදී සිටිනවා.

වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා දිනක වැටුප රු.1500 දක්ව වැඩි කිරීමට නොයෙක් පොරොන්දු දී තිබිය දී එම කම්කරුවන් හා වැවිලි සමාගම් එකඟ වූ පරිදි රුපියල් 1000ක වැටුප ලබාදීමට එකඟ වී තිබෙනවා. එය මාර්තු මස 01 සිට ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය අතර සාමූහික ගිවිසුම ඉදිරි සතියේ දී අත්සන් කිරීමට නියමිතය. ගොවීන්ට වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක් ලැබෙන පරිදි වී මිල දී ගැනීම සඳහා සියලු පාර්ශව සම්බන්ධ කර තිබෙනවා.සහල් ,පිටි,සීනි, ගොඩනැඟිලි ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍රවල ඒකාධිකාරි වෙළඳ ක්‍රමය ඉවත් කළ යුතුයි.පුරන් කුඹුරු යළි සංවර්ධනය කර පරම්පාරික වී,එළවළු,පලතුරු හා මල් වගාවන් දියුණු කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙනවා.
සමස්ත නිෂ්පාදන ආර්ථිකය අපනයන වෙලඳපොළ ඉලක්ක වන පරිදි අපගේ වෙලඳ ප්‍රතිපත්තියේ දිසාව වෙනස් කිරීමටත් ප්‍රමුඛත්වය දෙනු ලබනවා. මෙම පාරිලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් මෙම ජාතික ප්‍රමුඛතාවයන්ට දයකවීම සඳහා මුලින් ම අප රටේ දේශීය සැපයුම්කරුවන්ට රජය ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම මඟින් ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතුවල යළි පිබිදීමක් ඇති කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා යැයි පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *