හලාවත ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක සිදුවු අක්රමිකතාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, අදාළ අක්රමිකතාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඊට වරදකරු වුවහොත් ඇයට එරෙහිව නිසි පියවරගත යුතු බවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය,
“හලාවත ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක සිදුවු අක්රමිකතාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන්න. පුළුල් පරීක්ෂණයක් සිදුකරලා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එහි වැරදිකරුවෙකු වෙනවානම් දෙපාර්තමේන්තු නියෝග ක්‍රියාත්මක කරන්න කියන කාරණය මම මේ අවස්ථාවේ දී ප්‍රකාශකරනවා. ඇත්ත වශයෙන්ම මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ නියමිත නිලඇඳුම නොවේ ඔය සැරසී සිටින්නේ. අපට එයත් ප්‍රශ්නයක් මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්මද කියලා. ඒ නිසා මේ පිළබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන්න.“
හලාවත, කොක්කවිල පාසලේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයක දී ෆයිසර් එන්නත වයස අවුරුදු 18ට අඩු පිරිසකට සහ ප්‍රදේශයෙන් බැහැර පිරිසකට ලබාදීමට මැදිහත් වු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක සහ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් “අද දෙරණ“ ඊයේ අනාවරණය කළේය.
මෙම අනාවරණයත් සමග අදාළ අවස්ථාවේ එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන්ව එලෙස ස්ථාන මාරු කර තිබේ.