‘සිරිලිය සවිය’ සංවිධානයට ලැබුණු මුදල් එහි බැංකු ගිණුමේ තවමත් පවතින බවත්, එම මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
‘සිරිලිය සවිය’ සංවිධානයට ලැබුණු මුදල් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට සඳහන් කළේ ‘සිරිලිය සවිය’ සංවිධානය 2006 වසරේ සිට රජයේ අනුමැතිය යටතේ සුබසාධන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වූ බවත්, එමගින් විවිධ පුණ්‍ය කටයුතු සිදුකර ඇති බවත්ය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලැබුණු රු. මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමට බැර වූ බවට තමන් විවාද නොකරන බවද විත්තියේ නීතිඥවරයා පැවසීය.
කෙසේ වෙතත්, එම මුදල් අවභාවිත කර නොමැති බවත්, එය තවමත් සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන යන ‘සිරිලිය සවිය’ ගිණුමේ පවතින බවත් ඔහු තර්ක කළේය.
විත්තිය පවසන පරිදි, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට ‘සිරිලිය සවිය’ සංවිධානය රු. මිලියන 160ක පමණ මුදලක් රැස් කිරීමට උත්සාහ කර තිබේ.
එහෙත් 2014 වසර වන විට රැස්කර ගැනීමට හැකිවී තිබුණේ රු. මිලියන 42ක පමණ මුදලක් පමණක් බව නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේය.
ඉන් අනතුරුව රජය වෙනස් වීමත්, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වීමත් හේතුවෙන් බැංකු ගිණුම අත්හිටුවා තිබූ බවත්, එම නිසා සංවිධානයට තවදුරටත් මුදල් රැස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් විත්තිය සඳහන් කළේය.
“අදටත් මේ මුදල් එම ගිණුමේ තිබෙනවා,” යනුවෙන් විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වා තිබේ. එම සංවිධානයට අවශ්‍ය වූ රු. මිලියන 160ක මුදලින් රු. මිලියන 42ක් පමණක් රැස්කරගෙන සිටියදී ගිණුම අත්හිටුවීම හේතුවෙන් CT ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට නොහැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
ගිණුමට පනවා ඇති අත්හිටුවීම ඉවත් කළහොත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලබාදුන් මුදල නැවත අයකරගත හැකි බවද විත්තිය තර්ක කර තිබේ.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ඊට වෙනස් කරුණු ඉදිරිපත් කර තිබේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ලබාදුන් රු. මිලියන 10ක රාජ්‍ය මුදල නිසි ක්‍රියාපටිපාටියට පරිබාහිරව ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත ලබාදී ඇති බවට විමර්ශන නිලධාරීන් චෝදනා කර තිබේ.
එමෙන්ම එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවත්, එම වරදට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ආධාර සහ අනුබල ලබාදී ඇති බවත් කොමිසම චෝදනා කර තිබේ.
‘සිරිලිය සවිය’ ගිණුමට බැර වූ තවත් මුදල් සම්බන්ධයෙන්ද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අතර එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු රු. මිලියන 8.8ක මුදලක් සහ Huawei සමාගමෙන් ලැබුණු රු. මිලියන 22ක මුදලක්ද ඇති බව කොමිසම සඳහන් කර තිබේ.
මතභේදයට තුඩුදී ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදලට සම්බන්ධ මුදල් භාවිත කර ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගෙන ඇති බවටද විමර්ශන නිලධාරීන් චෝදනා කර තිබේ. එම චෝදනා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ අතර, ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.


