සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට

නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිනි.

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට  ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *