සියඹලංගමුවේ ‘කවන්තිස්ස’ට අඛණ්ඩව ප්‍රතිකාර: හදිසි ප්‍රතිකාර සඳහා කණ්ඩායම් සූදානම්

සියඹලංගමුවේ ‘කවන්තිස්ස’ නමැති ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් සහ නිලධාරීන්  අඛණ්ඩව ප්‍රතිකාර සිදු කරමින් සිටින බව පරිසර අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ වෛද්‍ය ඉසුරු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වනජීවී කණ්ඩායමක් ඊයේ එම ස්ථානයට ගොස් ඇතාගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කළ බවයි.

වෛද්‍ය පුබුදු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පශු වෛද්‍ය කණ්ඩායමක් ඊයේ කවන්තිස්සට ප්‍රතිකාර ලබාදී තිබූ අතර, ඇතාගේ ඉදිරිපස දකුණු පාදයේ ඇති තුවාලයට ප්‍රතිජීවක ඖෂධ සහ වේදනා නාශක ලබාදී තිබේ.

එම ස්ථානයේ පවතින අයහපත් තත්ත්වයන්, විශේෂයෙන් වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කරතා මධ්‍යයේ වුවද වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කවන්තිස්සට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පශු වෛද්‍ය අධ්‍යක්ෂ ගංගා මහත්මිය පැවසුවේ ඇතාට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කවන්තිස්සට හදිසි ප්‍රතිකාරයක් හෝ අතිරේක වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ කාර්ය මණ්ඩලය සූදානම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

මේ අතර, පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කවන්තිස්සගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.

එම කණ්ඩායම් මගින් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිකාර කිසිදු බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *