සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබාදීම රජයේ වගකීමක් බව ජනපති කියයි

දරුවන්ගේ පසුබිම කුමක් වුවත් ඔවුන්ට තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කර ගැනීමට, සිහින සැබෑ කර ගැනීමට සහ තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනගා ගැනීමට සමාන හා සාධාරණ අවස්ථා හිමිවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔක්තෝබර් 1 යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේදී ජනාධිපතිවරයා සඳහන් කළේ දරුවන් ජාතියක වටිනාම සම්පත බවත්, ඔවුන්ගේ කායික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම සහ නිසි සංවර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඕනෑම රජයක ප්‍රමුඛ වගකීමක් බවත්ය.

දරුවන් වෙනුවෙන් ගොඩනගන රට යනු අනාගතයේදී ඔවුන්ට භාරදීමට සූදානම් කරන රටක් පමණක් නොව, අද ඔවුන්ගේ සිහිනවලට ඉඩ ලබාදෙන, ඔවුන්ගේ හඬට සවන් දෙන සහ ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථා සලසන රටක් විය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

“දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔවුන්ට අධ්‍යාපනය, මගපෙන්වීම, සමාජ ආරක්ෂණය, ක්‍රීඩා, විවේක හා විනෝදාස්වාද අවස්ථා, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයෙන් සහ වෙනස්කම් කිරීමෙන් දරුවන් ආරක්ෂා කර ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටද කටයුතු කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය, භූගෝලීය පසුබිම හෝ වෙනත් කිසිදු තත්ත්වයක් දරුවෙකුගේ අධ්‍යාපනයට හෝ නිසි සංවර්ධනයට බාධාවක් නොවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් නවීන ලෝකයට ගැළපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් බවට එය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය රජය දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය. එම ක්‍රියාවලිය මව්පියන්ට අමතර බරක් නොවන සහ දරුවන්ට පීඩනයක් ඇති නොකරන ආකාරයෙන් සිදුකිරීමටද අවධානය යොමු කර ඇති බව ඔහු සඳහන් කළේය.

“අප ගොඩනගන නව ශ්‍රී ලංකාව තුළ කිසිදු දරුවෙකු අතහැර නොදමා, සෑම දරුවෙකුටම ආරක්ෂිත පරිසරයක් තුළ සංවර්ධනය වීමට අවස්ථා ලබාදීම අපගේ අරමුණයි,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් පුළුල් කිරීම සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ මෙන්ම රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු රජයේ වැඩසටහන් සෑම දරුවෙකුටම ගෞරවාන්විත හා සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ඒවා බවද ඔහු සඳහන් කළේය.

අස්ථාවර ආර්ථිකයක බලපෑම්වලින් තොරව දරුවන්ට ආරක්ෂිත හා සතුටින් පිරි ළමා කාලයක් ගත කිරීමට අවස්ථාව සැලසීම සඳහා රටේ ආර්ථිකය ස්ථාවර මාවතකට යොමු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම, මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර ආරක්ෂා කිරීම සඳහා ජනතාව එක්සත් කිරීම අරමුණු කරගත් “රටම එකට” ජාතික මෙහෙයුමද ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

“ශක්තිමත් මනසක්, සාරවත් දරුවෙක්” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුම් සංවිධානය කිරීම, ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත් කිරීම සහ දරුවන්ගේ අයිතිවාසිකම්, යහපැවැත්ම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ නිදහස ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට ප්‍රශංසාව පළ කළේය.

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දරුවන් වෙත සිය හෘදයාංගම සුබපැතුම්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *