සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී වේගයෙන් පැතිර ගිය වීඩියෝවක දැක්වෙන බළලෙකුට හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සත්ව සුබසාධන සන්ධානය (AWC) ශ්‍රී ලංකාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව තලාතුඔය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව කෙටි වේලාවකදී අතුල්ගම ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් පවසා ඇත්තේ අදාළ සිද්ධිය මීට මාසයකට පමණ පෙර සිදුවූවක් බවයි.
සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 411 වැනි වගන්තිය, පොලිස් ආඥාපනතේ 63(අ) වැනි වගන්තිය සහ සත්ව හිංසනයට අදාළ නීති යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


