ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ, අපහාස සහ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් සිදු කෙරෙන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන හයක් එම ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක තිබේ.
ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් එම සංවිධාන අනතුරු අඟවා ඇත්තේ, මෙම වෛරී ප්‍රචාරක ව්‍යාපාරය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත්, රට තුළ වෛරී සංස්කෘතිය තවදුරටත් වර්ධනය කිරීමට හේතු විය හැකි බවත්ය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් වසර 16කට වැඩි කාලයක් තිස්සේ සත්‍යය සහ යුක්තිය සොයමින් සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට, නීත්‍යනුකූල අධිකරණ ක්‍රියාදාමයක් තුළ ගනු ලැබූ තීරණ හේතුවෙන් තර්ජනවලට මුහුණ දීමට සිදු නොවිය යුතු බව එම සංවිධාන අවධාරණය කර ඇත.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධ නඩු කටයුතුවලට අදාළව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2018 අගෝස්තු මාසයේදී වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ බව ද එම සංවිධාන සිහිපත් කර තිබේ.
2019 මැයි මාසයේදී ජනාධිපති සමාවක් යටතේ උන්වහන්සේ නිදහස් කරනු ලැබුවද, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාව අවලංගු කිරීම හේතුවෙන් උන්වහන්සේට යළි බන්ධනාගාරගත වීමට සිදු වූ බව එහි සඳහන් වේ.
ඥානසාර හිමියන්ට එරෙහි මුල් පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට යොමු කර තිබූ බවත්, එම නඩු කටයුතුවලදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අගතියට පත් පාර්ශ්වයක් ලෙස පෙනී සිටි බවත් මාධ්‍ය සංවිධාන පෙන්වා දී ඇත.
එබැවින් උන්වහන්සේ බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඇය වගකිව යුතු බවට එල්ල කරන උත්සාහයන් එම සංවිධාන ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් තම කැපවීම යළිත් තහවුරු කළ එම සංවිධාන සඳහන් කර ඇත්තේ, පුද්ගලයන්ට හෝ ප්‍රජාවන්ට එරෙහි තර්ජන, ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා දිරිගන්වන ව්‍යාපාර සාධාරණීකරණය කිරීමට එම නිදහස භාවිත කළ නොහැකි බවයි.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව තහවුරු කිරීමට, නීතියේ ආධිපත්‍යය සුරැකීමට සහ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
දේශපාලන හෝ වෙනත් වාසි ලබාගැනීම සඳහා ආගමික හා ජනවාර්ගික සංවේදීතාවන් ප්‍රයෝජනයට ගැනීමට දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස දේශපාලන හා ආගමික නායකයන්ගෙන් ද එම සංවිධාන ඉල්ලා තිබේ.
මෙම ඒකාබද්ධ නිවේදනයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), දකුණු ආසියානු මාධ්‍යවේදිනියන්ගේ සංවිධානය (SWAM), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF) සහ ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානය (SLTMA) අත්සන් තබා ඇත.


