සතොස නඩුවේ නියෝගය සැප්තැම්බර් 22 දිනට නියම කෙරේ

සතොස සේවකයින් රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතුවල නිරත වූ බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුවේ මූලික විරෝධතාවලට අදාළ නියෝගය සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ප්‍රතිවිරෝධතා ගොනු කළේය. මීට පෙර අවස්ථාවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි විත්තිකරු අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේ මෙම නඩුවේ චෝදනා තවදුරටත් විත්තිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මූලික විරෝධතා සම්බන්ධයෙන් වන නියෝගය සැප්තැම්බර් 22 වැනිදාට ප්‍රකාශයට පත් කිරීමට නියම කළේය.

මීට පෙර පැවති නඩු විභාගයකදී විත්තිකරුවන්ට අධිචෝදනා භාරදුන් අතර අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කොළඹ මහාධිකරණය විසින් ඔවුන්ව මුදාහරින ලදී.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට විදෙස් ගමන් තහනමක්ද පැනවීය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු මහතාට සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ මැතිවරණ කටයුතු සඳහා සමුපකාර තොග ආයතනය (CWE) ආයතනයේ සේවකයන් යොදවා රජයට අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්ය. .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චෝදනා 4ක් යටතේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම දූෂණ නඩු පවරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *