ශ්රී ලංකා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crimes Bill) මඟින් අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවිය හැකි බවට ජාත්යන්තර මානව හිමිකම් සුපරීක්ෂණ සංවිධානය (Human Rights Watch – HRW) දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, මර්දනකාරී නීති අහෝසි කරන බවට රජය ප්රතිඥා දී තිබියදීත්, පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම කෙටුම්පතෙහි ආන්දෝලනාත්මක ‘ත්රස්තවාදය වැළැක්වීමේ පනතට’ (PTA) සමාන අතිශය මර්දනකාරී වගන්ති ඇතුළත් කර ඇති බවයි.
එබැවින් මෙම යෝජිත පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, මානව හිමිකම් ආරක්ෂා වන පරිදි පුළුල් හා විවෘත පාර්ශ්වකරුවන්ගේ උපදේශන ක්රියාවලියක් පවත්වන ලෙසත් HRW සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
පොරොන්දු සහ සැබෑ තත්ත්වය අතර පරස්පරය
2024 ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජන බලවේගය සියලු මර්දනකාරී නීති අහෝසි කර ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කරන බවට පොරොන්දු වූ බව HRW පෙන්වා දෙයි. විශේෂයෙන්ම කුප්රකට ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දුවට පටහැනිව, ඔක්තෝබර් 6 වැනිදා ඉදිරිපත් කළ ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ මෙන්ම මෙම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත හරහාද ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දරුණුතම අංග සාමාන්ය අපරාධ නීතියෙන් බැහැර වූ සමාන්තර නීති රාමුවක් ලෙස යළි ස්ථාපිත කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
“ශ්රී ලංකාවේ මෙම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත හරහා ප්රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් හෝ අපරාධමය සාක්ෂියකින් තොරව දීර්ඝ කාලයක් පුද්ගලයන් රඳවා තබාගැනීමට ඉඩ සැලසෙනවා. එසේම පොලිසිය ලබාගන්නා පාපොච්චාරණ මත පදනම්ව නඩු තීන්දු දීමට අවසර දීමෙන් පොලිස් වධහිංසා පැමිණවීම් දිරිමත් වෙනවා. මෙය වත්මන් ස්වරූපයෙන් සම්මත වුවහොත් අතීතයේ පැවති මර්දන නීති මෙන්ම බරපතළ මානව හිමිකම් කඩවීම් රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් පවතිනවා,” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්යක්ෂිකා එලේන් පියර්සන් (Elaine Pearson) මෙනෙවිය ප්රකාශ කළාය.
සාමාන්ය පුරවැසියන් කොටුකරන අනතුරුදායක වගන්ති
දේශසීමා ඉක්මවා යන සංවිධානාත්මක අපරාධ පිළිබඳ 2003 එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්රියාත්මක කිරීම වෙනුවෙන් මෙම පනත ගෙන එන බව ප්රකාශ කළද, එය ජාත්යන්තර නීතිමය ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වී ඇති බව HRW සංවිධානය පෙන්වා දෙයි.
පුළුල් අර්ථ දැක්වීම්: වසර හතරකට වැඩි සිරදඬුවම් නියම කළ හැකි ඕනෑම වරදක් ‘බරපතළ අපරාධයක්’ ලෙස අර්ථ දක්වා ඇති අතර, මුදල් හෝ ද්රව්යමය වාසියක් තකා ක්රියාකරන තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ‘සංවිධානාත්මක අපරාධ කල්ලියක්’ ලෙස සලකනු ලබයි.
ඇඳුමෙන් සහ පච්චවලින් සාමාජිකත්වය තීරණය කිරීම: යම් පුද්ගලයෙකු අපරාධ කල්ලියක සාමාජිකයෙක්ද යන්න තීරණය කිරීමට ඔවුන් අඳින ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාවිත කරන භාෂාව, සිරුරේ කොටා ඇති පච්ච (Tattoos), සාමාජිකයන් හමුවීම හෝ ඔවුන් ගැවසෙන ස්ථානවලට යාම වැනි කරුණු අධිකරණයට සැලකිල්ලට ගත හැකිය. මෙය සිදුකළ අපරාධයකට වඩා පුද්ගල ඇසුර සාපරාධීකරණය කිරීමක් බවත්, සාක්ෂි නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට මඟපාදන බවත් HRW අනතුරු අඟවයි.
වසරක රැඳවුම් නියෝග සහ ඇප සීමා: මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් වසරක් දක්වා රැඳවුම් නියෝග නිකුත් කළ හැකි අතර, එම නියෝගය අහෝසි කිරීමට මහේස්ත්රාත්වරයාට බලයක් නොමැත. ඇප ලබාදිය හැක්කේ මහාධිකරණයට පමණක් වන අතර එයද අතිශය සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණි.
පොලිස් පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම: ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙන්ම පොලිසිය ලබාගන්නා පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස පිළිගැනීමට මෙමඟින් ඉඩ සලසා ඇති අතර, එය සැකකරුවන්ට වධහිංසා පමුණුවා බලහත්කාරයෙන් ප්රකාශ ලබාගැනීමට පොලිසිය පෙළඹවීමකි.
පුද්ගලිකත්වය සහ මාධ්ය නිදහස උදුරාගැනීම
අධිකරණ නියෝග මත ඉලෙක්ට්රොනික උපාංගවල දත්ත ලබාගැනීමට අමතරව, කිසිදු අධිකරණ නියෝගයකින් තොරව ඕනෑම දුරකථන, චන්ද්රිකා හෝ ඩිජිටල් සේවා සපයන්නන්ගෙන් පුද්ගලික ඇමතුම් දත්ත, කුළුණු පිහිටීම් (Tower locations) සහ ග්රාහකයාගේ තොරතුරු ලබාගැනීමට පොලිසියට අසීමිත බලතල පවරා දී ඇත.
තවද, අපරාධයකට ලක්වූවන්ගේ අනන්යතාව හෙළිවන කිසිදු තොරතුරක් පළකිරීම වරදක් බවට පත්කිරීම සහ අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව නඩු වාර්තාකරණය සීමාකිරීම හරහා ජනමාධ්ය නිදහස සහ ප්රකාශනයේ නිදහස බරපතළ ලෙස සීමා කෙරෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි. වරෙන්තුවක් නොමැතිව ඕනෑම ස්ථානයක් පරික්ෂා කිරීමට සහ සැකපිට වාහන හෝ පුද්ගලයන් නැවැත්වීමට පොලිසියට ලබාදී ඇති බලතල අනිසි ලෙස භාවිත වීමේ ඉඩකඩ ඉහළය.
GSP+ සහනය අහිමිවීමේ අවදානමක්
යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු රහිත වෙළෙඳ සහනය රඳවා ගැනීම සඳහා ශ්රී ලංකාව ලබාදී තිබූ ප්රධාන පොරොන්දුවක් වූයේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමයි. එහෙත් එම මර්දනකාරී ලක්ෂණ එලෙසම රඳවාගනිමින් ගෙන එන මෙවැනි නව නීති මඟින් ශ්රී ලංකාව ජාත්යන්තරව ලබාදී ඇති මානව හිමිකම් බැඳීම් කඩවන බවත්, ඒ ඔස්සේ යුරෝපා වෙළෙඳ සහන අහිමිවීමේ බරපතළ අවදානමක් මතුවන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.


