සංවර්ධන වැඩවලට නව චක්‍රලේඛයක්

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විධික්‍රම සහ මානව සම්පත් උපයෝජනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා සංවර්ධන ව්‍යාපෘති අනවශ්‍ය ප්‍රමාදයකින් තොර ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම, එකී ව්‍යාපෘතීන්හි ප්‍රතිඵල අපේක්ෂිත කාලය තුළ සාක්ෂාත් කර ගැනීම පිණිස මානව හා භෞතික සම්පත් ක්‍රමවත්ව එකී ව්‍යාපෘති සඳහා ලබා දීම මෙන් ම එම සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම ද සිදු කළ යුතු වේ. එබැවින්, රජයේ ව්‍යාපෘති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, රජයේ ප්‍රාග්ධන වියදම් සඳහා ප්‍රශස්ත ප්‍රතිලාභ ලබා ගැනීම, සංවර්ධන වැඩසටහන් සහ රාජ්‍ය ආයෝජන මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති වලින් අපේක්ෂිත ප්‍රතිලාභ කාලෝචිත ආකාරයෙන් මහජනතාව වෙත ලැබෙන බව සහතික කිරීම යන ප්‍රධාන අරමුණු ඉටු කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මකව පවතින චක්‍රලේඛ විධිවිධාන යාවත්කාලීන කළ යුතු බව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාලව නිකුත් කරනු ලැබ ඇති 2019-03-15 දිනැති අංක 01/2019 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය අවලංගු කිරීමටත්, ඒ වෙනුවට යාවත්කාලීන කරන ලද විධිවිධාන ඇතුළත් නව කළමනාකරණ සේවා චක්‍රලේඛයක් නිකුත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *