ශ්‍රී ලංකා රේගුව ඊයේ (1) සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රියාවලිය හඳුන්වා දී ඇති අතර, ඒ අනුව සියලුම ආනයනකරුවන් සහ රේගු ප්‍රකාශකයන් වලංගු ඩිජිටල් අත්සනක් සහිත රේගු ප්‍රකාශන සහ අදාළ ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
රජයේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ සහ රාජ්‍ය අංශය නවීකරණය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව මෙම නව ක්‍රියාවලිය හඳුන්වා දී තිබේ.
මෙම පද්ධතිය නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය ඊයේ පෙරවරු 10.00ට ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව ක්‍රියාවලිය යටතේ මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදයට අනුව ඉදිරිපත් කරන රේගු ප්‍රකාශන ඊයේ (2026 ඔක්තෝබර් 1) සිට තවදුරටත් භාර නොගන්නා බව බලධාරීහු පැවසූහ.
භෞතික ලේඛන මත රඳා පැවතීම අවම කිරීම මගින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුක්ත කිරීමට මෙම කඩදාසි රහිත ක්‍රමය මගින් හැකි වනු ඇතැයි බලධාරීහු පෙන්වා දුන්හ.
ඩිජිටල් අත්සන යෙදීමෙන් අනතුරුව ලේඛනයක සිදුකරන ඕනෑම වෙනස්කමක් හඳුනාගැනීමට නව පද්ධතියට හැකිවීම එහි ප්‍රධාන විශේෂාංගයක් වේ.
මෙම පහසුකම මගින් ලේඛනවල ආරක්ෂාව ශක්තිමත් කිරීමට මෙන්ම රේගු නිෂ්කාශන ක්‍රියාවලියේදී සිදුවිය හැකි වංචා සහ දූෂණ සඳහා ඇති අවස්ථා අවම කිරීමට හැකි වනු ඇතැයි බලධාරීහු සඳහන් කළහ.


