ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය සැප්තැම්බර් 3 වැනිදාට යෙදී ඇති අතර, ජනතාව දැනුවත් කිරීම සහ පොලිසිය හා මහජනතාව අතර වඩාත් සමීප සබඳතාවක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වැඩසටහන් හා උත්සව රැසක් සංවිධානය කර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී 1866 සැප්තැම්බර් 3 වැනිදා ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොලිසිය මෙවර වසර 160ක සේවා කාලය සම්පූර්ණ කරයි. ඒ නිමිත්තෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අභිමානවත් උත්සවයක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙවර පොලිස් දින සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බවයි.
අගෝස්තු 28 වැනිදා සිට රූපවාහිනී, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. පොලිසිය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ මහජන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම එහි අරමුණයි.
සංවත්සර සැමරුමේ ප්‍රධාන අංගයක් ලෙස සැප්තැම්බර් 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී මහජන ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.
දින තුන පුරා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී නීතිමය දැනුවත්භාවය සහ ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය පොලිස් සේවා පිළිබඳව අවධානය යොමු කෙරේ. පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ අංශ නියෝජනය කරමින් තොරතුරු කුටිද එහි ස්ථාපිත කිරීමට නියමිතය.
ළමයින් සහ තරුණයන් සඳහා විශේෂ ආකර්ෂණීය වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබේ. මාධ්‍ය ප්‍රදර්ශන, යතුරුපැදි ප්‍රදර්ශන, පැරෂුට් සංදර්ශන, අශ්ව සංදර්ශන සහ පොලිස් සුනඛ සංදර්ශන ඒ අතර වේ.
මීට අමතරව සැප්තැම්බර් 4, 5 සහ 6 යන දිනවල පස්වරු 7.00 සිට රාත්‍රී 11.00 දක්වා සංගීත ප්‍රසංගද පැවැත්වීමට නියමිතය.
සංවත්සරයට සමගාමීව දිවයින පුරා පිහිටි පොලිස් අංශ සහ පොලිස් ස්ථාන මගින් ප්‍රජා කේන්ද්‍ර කරගත් වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබේ.
මහජන සහභාගීත්වය වැඩිදියුණු කිරීම, පොලිසිය සහ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ දෙපාර්ශ්වය අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහන්වල අරමුණ බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.


