කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඔක්තෝබර් 5 සිට 9 වැනිදා දක්වා ටැන්සානියාවේ අරුෂා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 153 වැනි සමුළුවට සහභාගී වූහ.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස රටේ ප්රජාතන්ත්රවාදී පාලනය, මානව හිමිකම් සහ අභියෝග හමුවේ ඔරොත්තු දිය හැකි මහජන සෞඛ්‍ය පද්ධති සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.
සහභාගීත්වය සහ මහජන විශ්වාසය ප්රජාතන්ත්රවාදයේ පදනමයි
“සහභාගීත්වය, විශ්වාසය සහ සියලු දෙනාට අවස්ථා සැලසීම තුළින් යහපාලනය ශක්තිමත් කිරීම සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති ප්‍රධාන සැසිය අමතමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, මහජන විශ්වාසය සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා අවස්ථා සැලසීම තිරසාර ප්රජාතන්ත්රවාදයක මූලික පදනම වන බවයි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථාන පිළිබඳව අදහස් දැක්වූ කථානායකවරයා, වත්මන් දසවැනි පාර්ලිමේන්තුව ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට 9.8ක් නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් 22 දෙනකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අතර මලෛයහම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනකු ද සිටිති.
එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයකු ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන බව සිහිපත් කළ කථානායකවරයා, එම මන්ත්‍රීවරයාට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් පිරිනමන ලද “2026 වසරේ විශිෂ්ට නවක පාර්ලිමේන්තු මන්ත්‍රී” සම්මානය ද පිළිබඳව සඳහන් කළේය.
කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම, ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ කණ්ඩායම, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (COPE) වැනි විශේෂිත අධීක්ෂණ යාන්ත්‍රණ මඟින් සාධාරණත්වය, විනිවිදභාවය සහ මහජන වගවීම තහවුරු කරන ආකාරය ද ඔහු පැහැදිලි කළේය.
පාර්ලිමේන්තු විවාද සංඥා භාෂා පරිවර්තනය සහිතව විකාශය කිරීම සහ කාරක සභා රැස්වීම් මාධ්‍යයට හා සිවිල් සමාජයට විවෘත කිරීම වැනි මෑතකාලීන විවෘත පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ද මහජනතාව සහ මහජන නියෝජිතයන් අතර පරතරය අවම කිරීමට ගත් වැදගත් පියවර ලෙස ඔහු අවධාරණය කළේය.
ප්‍රජනන හා මාතෘ සෞඛ්‍ය පිළිබඳ වැඩසටහනකදී ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අප්‍රිකානු භූ දේශපාලන කණ්ඩායම සංවිධානය කළ අතුරු සැසියකදී ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ඇගයීමක් හිමි විය.
“ප්රතිඥාවල සිට ප්‍රතිඵල දක්වා: 2030 වන විට ප්‍රජනන, මාතෘ, නවජාත සහ ළමා හා යොවුන් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා අප්‍රිකානු පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග” යන තේමාව යටතේ එම සැසිය පැවැත්විණි.
වෛද්‍යවරයකු ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතා සතු වෘත්තීය පසුබිම සහ එය පාර්ලිමේන්තු නායකත්වයට ලබාදෙන වටිනාකම එහිදී ඇගයීමට ලක් කෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා
සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයන් ද හමුවූහ. එහිදී සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බහුආංශික සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රධානී ලූඩි සූර්යන්තෝරෝ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජාතික සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ විශ්වීය සෞඛ්‍ය සූදානම පිළිබඳ සමාලෝචනය (Universal Health Preparedness Review) ඉදිරියට ගෙන යාම එම සාකච්ඡාවේ ප්‍රධාන අවධානයට ලක් විය.
සෞඛ්‍ය අර්බුදවලට මුහුණදීමේ සූදානම ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නීතිමය සහාය ලබාදීම, අයවැය අනුමත කිරීම හා ආරක්ෂා කිරීම, දැඩි අධීක්ෂණයක් පවත්වාගෙන යාම සහ බහුආංශික පාලනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරෙන තීරණාත්මක කාර්යභාරය ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කළහ.
එමෙන්ම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සමානාත්මතාව සහ මානව හිමිකම් තහවුරු කිරීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ.
ගෝලීය අභියෝග රැසක් පිළිබඳ සාකච්ඡා
මෙම සමුළුවේදී සියලු දෙනා ඇතුළත් කරගන්නා සමාජ සංවර්ධනය සඳහා පාර්ලිමේන්තු මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග, හමුදා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත වන යුගයක සාමය ආරක්ෂා කිරීම, පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළින් සාමකාමී අනාගතයක් ගොඩනැගීම, ගැටුම් පවතින අවස්ථාවල සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය හා ගැටුම් වැළැක්වීමේ යාන්ත්‍රණ සමාලෝචනය කිරීම ඇතුළු ගෝලීය අභියෝග රැසක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ රාමුව භාවිත කරමින් ත්රස්තවාදයට එරෙහි ප්‍රතිචාර ශක්තිමත් කිරීම, ස්වාභාවික සම්පත් නිස්සාරණය කරන කර්මාන්ත අධීක්ෂණය, පරම්පරා අතර ඩිජිටල් තොරතුරු අධිකත්වය කළමනාකරණය, මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන සදාචාරාත්මක කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය, වෙනස් වන දේශගුණික තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය හා මානව හිමිකම් නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම පිළිබඳ වැඩමුළු ද පැවැත්විණි.
මෙම සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහභාගී වීම තුළින් ප්රජාතන්ත්රවාදී පාලනය, සියලු දෙනා ඇතුළත් කරගැනීම, මහජන වගවීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සම්බන්ධ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවාද හා සහයෝගීතාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු වූ බව සඳහන් වේ.



