ශ්‍රී ලංකාවට දියුණු විදුලි බස් නිෂ්පාදන තාක්ෂණය ගෙන ඒමේ අවස්ථා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශාන්ත මේරිස් ප්‍රදේශයේ පිහිටි Custom Denning සමාගමේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාව නිරීක්ෂණය කරමින් එහි ශුන්‍ය විමෝචන ප්‍රවාහන තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කර තිබේ.

අමාත්‍යවරයා ශාන්ත මේරිස්හි පිහිටි සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකම නිරීක්ෂණය කර ඇති අතර, එහිදී Element 2 විදුලි බස් රථයක් මුල සිටම නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත.

එමෙන්ම විදුලි බස් රථ සඳහා භාවිත කරන pantograph වේගවත් ආරෝපණ පද්ධතියක ක්‍රියාකාරීත්වයද නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, සම්පූර්ණයෙන් නිම කළ විදුලි බස් රථයක ගමන් කරමින් එහි තාක්ෂණය අත්විඳ තිබේ.

Custom Denning සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Scott Dunn සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Daniel Bale විසින් කර්මාන්තශාලා සංචාරය මෙහෙයවා ඇති අතර, සමාගමේ මූල්‍ය පාලක Niro Bandara මහතාද මෙම අවස්ථාවට එක්ව ඇත.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් විශ්වනාත් අපොන්සු මහතාද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්ව තිබේ.

සංචාරයෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, තමන් නිරීක්ෂණය කළ තාක්ෂණය සහ නිෂ්පාදන හැකියාව ශ්‍රී ලංකාව අනාගතයේදී රටට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන දියුණු නිෂ්පාදන කර්මාන්තවලට කදිම උදාහරණයක් බවයි.

විශේෂයෙන්ම දක්ෂ ඉංජිනේරු රැකියා, පරිසර හිතකාමී ප්‍රවාහන තාක්ෂණය සහ අපනයන අවස්ථා නිර්මාණය කළ හැකි මෙවැනි දියුණු නිෂ්පාදන කර්මාන්ත ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම වැදගත් බවද ඔහු අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *