වෛද්‍ය පරීක්ෂණ රැසක් සඳහා මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
එම දැන්වීම පාරිභෝගික කටයුතු අධිකාරියේ නිල ප්‍රකාශනයක් නොවන බව අවධාරණය කරන අධිකාරිය, එහි සඳහන් සියලු මිල ගණන් ගැසට් නිවේදන මගින් නියම කර ඇති උපරිම ගාස්තු ලෙස නොසලකන ලෙස ජනතාවට දැනුම් දෙයි.
අධිකාරිය පවසන්නේ පහත සඳහන් වෛද්‍ය පරීක්ෂණ සඳහා පමණක් උපරිම ගාස්තු නිල වශයෙන් නියම කර ඇති බවයි.
- පූර්ණ රුධිර පරීක්ෂාව (FBC): පරීක්ෂණය සහ වාර්තාව සඳහා රුපියල් 400ක්. මෙය 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 67 දරන නියෝගය යටතේ නියම කර ඇත.
- ඩෙංගු NS1 ප්‍රතිදේහජනක පරීක්ෂණය: පරීක්ෂණය සහ වාර්තාව සඳහා රුපියල් 1,200ක්. එම ගැසට් නියෝගය යටතේ මෙම ගාස්තුව නියම කර ඇත.
- COVID-19 PCR පරීක්ෂණය: පරීක්ෂණය සහ වාර්තාව සඳහා රුපියල් 6,500ක්. 2021 අගෝස්තු 12 දිනැති අංක 2240/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 75 දරන නියෝගය යටතේ මෙම ගාස්තුව නියම කර ඇත.
- COVID-19 වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය: පරීක්ෂණය සහ වාර්තාව සඳහා රුපියල් 2,000ක්. මෙම ගාස්තුවද එම ගැසට් නියෝගය යටතේ නියම කර ඇත.
එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමේ සඳහන් FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, UFR, CRP, CT, MRI, Ultrasound, Mammogram සහ DEXA ඇතුළු අනෙකුත් පරීක්ෂණ සඳහා දක්වා ඇති ගාස්තු පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග මගින් නියම කළ උපරිම ගාස්තු නොවන බවද අධිකාරිය අවධාරණය කරයි.
නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබාගන්නා ලෙසත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 දුරකථන අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකිය.


