සීඝ්රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක වෙළෙඳසැල් වසා දැමීමට වෙළෙඳ සංගම් අදත් පියවර ගෙන තිබුණි.
ඊට තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද අයත් වෙයි.
ඒ අනුව රුවන්වැල්ල, ඇහැළියගොඩ, වරකාපොළ, කොටගල, හාලිඇල, නොච්චියාගම, කදුරුවෙල, හුංගම, මොනරාගල, මැදගම, ගාල්ල ඉමදූව, වීරකැටිය සහ මාතලේ විල්ගමුව නගරවල වෙළෙඳසැල් වසාදමා තිබුණි.
තඹුත්තේගම නගරයේ සියලු වෙළෙඳසැල් ඊයේ සිට වසා දැමීම නිසා තඹුත්ගේම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ද වසා දැමීමට තඹුත්තේගම එක්සත් වෙළෙඳ සංගමය තීරණයකර තිබේ.
ඒ හේතුවෙන් තඹුත්ගේම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සහ පලතුරු රැගෙනආ වෙළෙඳුන්ට ඒවා අලෙවි කිරීමට අද සිදුවුණේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේය.
දඹුල්ල නගරයේ වෙළෙඳසැල් ද අද සිට එළැඹෙන 31වැනිදා දක්වා වසා දැමුණත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පවතී.
අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් අද සිට සතියකට වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය සහ දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය තීරණය කළත් ඇතැමුන් ඊට අවනත වී නොතිබුණි.
මේ අතර මීගමුව නගරයේ වෙළෙඳසැල් අද සිට වසා දැමීමට වෙළෙඳ සංගම් පියවර ගත්ත ද වෙළෙඳසැල් කිහිපයක් අදත් විවෘතව පැවතිනි.
නුවරළිය දිස්ත්‍රික්කයේ වෙළෙඳසැල් ද වසාදැමීමට තීරණය කරන්නේ නම් ඊට පෙර අදාළ බලධාරින් දැනුවත් කරන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙළෙඳ සංගම්වලින් ඉල්ලා තිබේ.
මේ අතර, කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ඊයේත් ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත්, නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ ඇතැම් ප්‍රදේශවල රාත්‍රී ආපන ශාලා සහ වෙළෙඳසැල් විවෘතව පැවති බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 229ක් අත්අඩංගුවටගත් බවය.
මේ අතර අත්‍යාවශ්‍ය සේවා යැයි පවසමින් කොළඹ සිට කතරගම බලා ධාවනය වන බස් රථයක් කළුතර දකුණ පොලිසිය විසින් අද පරීක්ෂාවට ලක්කළේය.
නමුත්, එහි ගමන් කර තිබුණේ අත්‍යාවශ්‍ය සේවාවලට අදාළ එක් රෝහල් සේවකයෙකු පමණය.