වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටීම හේතුවෙන් රෝහලෙන් භාර නොගත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් පැයක් ගිලන් රථයේ

ගිලන් රථවලින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයින් දෙදෙනකුව රෝහල විසින් භාර නොගැනීම හේතුවෙන් ඔවුන්ට පැයක පමණ කාලයක් ගිලන් රථ තුළම රැඳී සිටිමට සිදුවිය.

ඒ බලපිටිය මූලික රෝහල් පරිශ්‍රයේදීය.

දිවයිනේ සියලු රෝහල්වල කාර්යමණ්ඩල අද පෙරවරු 7 සිට උදෑසන 11 දක්වා සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ මෙම තත්ත්වය ඇතිවී තිබුණි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයට විරෝධය පළ කරමිනි.

පරිපූරක, අතුරු වෛද්‍ය සහ හෙද නිලධාරීන් ද වර්ජනයට එක්වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්විය.

කෙසේවෙතත් අද දහවල් වනවිට වර්ජනය අවසන් කෙරුණි.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු 3ක ඇඳන් 70ක් කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන්කර තිබුණ ද එම රෝහලේ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 210 දෙනෙකු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටු 5ක ඇඳන් 100ක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර තිබේ.

එහෙත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 286කි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු දෙකක ඇඳන් 61ක් වෙන් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 106ක් වෙයි.

රාගම රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වාට්ටු 10ක ඇඳන් 236ක් වෙන් කර තිබුණ ද මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 311 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

මහනුවර රෝහලේ වාට්ටු දෙකක ඇඳන් 108ක් කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර ඇතත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 188ක් බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

‍මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ අද වනවිට රෝහලෙන් දිනකට කොවිඩ් ආසාදිතයින් 25ක් වාර්තා වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *