Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විදේශ වෙළෙඳපොළ අල්ලන්න හෙක්ටයාර 5,000ක දැවැන්ත පලතුරු වගාවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මහා පරිමාණ පලතුරු වගාව සඳහා මෙතෙක් ඌන භාවිතයේ පැවති හෙක්ටයාර 5,039ක ඉඩම් ප්‍රමාණයක් සංවර්ධනය කිරීමේ නව වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවැනි අදියර යටතේ හඳුන්වා දී ඇති මෙම ව්‍යාපෘතිය මඟින්, මීට පෙර නිසි ප්‍රයෝජනයට නොගත් ගොඩ ඉඩම් පරිසර හිතකාමී වාණිජ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය කිරීම අපේක්ෂා කෙරේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ, කෘෂිකාර්මික කටයුතු සඳහා සහාය වීමට කුඩා වැව් පද්ධති පුනරුත්ථාපනය කරන අතරම, අඹ, පේර, කෙසෙල්, පැපොල් සහ වැල්දොඩම් ඇතුළු අපනයන ඉලක්කගත පලතුරු වගා කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමුකරන බවයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (11) අනුරාධපුර ජාතික පසුඅස්වනු කළමනාකරණ ආයතනයේදී සහ සී බැංකු (C Bank) පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කෙරිණි.

අතුරු බෝග සහ සූර්ය බල ජල සැපයුම

මෙම වැඩසටහන යටතේ වගා කෙරෙන පලතුරු ගස් පූර්ණ අස්වැන්න ලබාදෙන මට්ටමට පැමිණෙන තෙක් ගතවන මුල් වසර කිහිපය තුළ ගොවීන්ට අඛණ්ඩ ආදායමක් උපයා ගැනීමට හැකිවන පරිදි මිරිස්, රටකජු, කොමඩු, මුංඇට සහ තල වැනි අතුරු බෝග (Intercrops) වගා කිරීමටද ඔවුන්ව දිරිමත් කෙරේ.

කාර්යක්ෂම හා දේශගුණික හිතකාමී ජල කළමනාකරණයක් ප්‍රවර්ධනය කිරීම උදෙසා, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ඉල්ලුම මත පදනම් වූ පීඩන නල ජල බෙදාහැරීමේ පද්ධති (Solar-powered pressurised pipe systems) හරහා මෙම නව වගා බිම් වෙත ජලය සැපයීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ අවසන් වන තෙක්, තෝරාගත් වැව් පද්ධතිවල පවතින ජල මූලාශ්‍ර උපයෝගී කරගනිමින් මෙම ගොඩබිම් වගා කටයුතු පවත්වාගෙන යනු ඇත. මීට අමතරව දැනට පවතින වාණිජ කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 2,000ක් පමණ නවීකරණය කිරීමටද මෙම වැඩසටහන යටතේ අපේක්ෂිතය.

බෝගවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කෘෂිකාර්මික ඵලදායිතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන මට්ටමට ඔසවා තැබීම මෙම මුලපිරීමේ මූලික අරමුණ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ අදහස