රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළේය.
මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඇප නියම කරන බව අධිකරණය නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණි.
සෑම සදුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායනයට ඉදිරිපත් විය යුතු බවට ද අධිකරණය නියෝග කළේය.
මේ අතර ආගමික මතභේදයක් ඇතිවන අයුරින් දේශන පැවැත්වූ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් ගොනුකිරීම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස අවවාද කරන ලදි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට ගල්කිස්ස අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙනි.
කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කරමින් කියාසිටියේ සංවේදී අධිකරණ කලාපයට කරුණු වාර්තා කළ යුතුව තිබුණ ද එසේ කටයුතු නොකිරීම ගැන කරුණු දක්වන ලෙසයි.
පොලිස්පතිවරයාගෙන් ද මේ සම්බන්ධයෙන් කරුණු විමසන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව වැඩිදුර වාර්තා සදහා අප්‍රේල් තුන්වනදා කැදවන ලෙස නියෝග කළේය.