ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට වසර 21කට පසු නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමට කණ්ඩායම තුළ පැවති අභ්‍යන්තර ගැටුම් සහ විනය විරෝධී හැසිරීම් බලපෑ බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ ලේකම් දමයන්ති ජයතිලක මහත්මිය චෝදනා කර තිබේ.
හිටපු ජාතික නෙට්බෝල් නායිකාවකද වන ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ආසියානු නෙට්බෝල් ශූරතාවලිය අතරතුර කණ්ඩායමේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට වාචික අපහාස සහ අසභ්‍ය වචන භාවිත කරමින් දැඩි ලෙස සැලකීම හේතුවෙන් ඔවුන් අධෛර්යයට පත්වී ක්‍රීඩාවේ තම අනාගතය පිළිබඳව පවා ප්‍රශ්න කර ඇති බවයි.
“තරුණ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට දැඩි ලෙස සැලකුවා. ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විනයක් නොමැතිව හැසිරුණා. අවසන් උත්සවයේදී පවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අසභ්‍ය වචන භාවිත කරන ආකාරය මම පෞද්ගලිකව දුටුවා. ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත හැකියි,” යනුවෙන් ඇය සඳහන් කළාය.
ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අවස්ථාවේ සිටම පුහුණුකරු කණ්ඩායම තුළ බෙදීමක් ඇති කළ බවටද ජයතිලක මහත්මිය චෝදනා කළාය. තරගාවලිය ආරම්භ වීමටත් පෙර දක්ෂ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් තිදෙනෙකු කණ්ඩායමෙන් ඉවතට තැබූ බව ඇය පැවසුවාය.
“පුහුණුකරු මේ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතුයි. එකමුතුවක් නැතිව රට වෙනුවෙන් ජයග්‍රහණය කරන්න බැහැ,” යනුවෙන් ඇය අවධාරණය කළාය.
තරගාවලිය පුරා පුහුණුකරුගේ හැසිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර ආතතියක් ඇති වූ බවත්, එය අවසානයේ ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වීමට බලපෑ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 16 වැනිදා චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර, නෙට්බෝල් සම්මේලනයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඔවුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.


