“ඔබට ඕස්ට්‍රේලියාවේ තිබෙන නිදහස සහ සමාන නීතිය ශ්‍රී ලංකාවේත් ලබාදෙනවා” – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ඕස්ට්‍රේලියාවේ මෙන් නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ 2026 ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ රාත්‍රිය (Sri Lankan Entrepreneurs’ Night 2026) වෙනුවෙන් මෙල්බර්න් නුවර පැවති උත්සවයකදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අමතමිනි.

“මෙහි සිටින බහුතරයක් ශ්‍රී ලාංකිකයන්. අපි කතා කරන භාෂාව කුමක් වුවත්, අපි එකම රටක මිනිසුන්. අපි ජීවත් වන්නේ පැය 10ක පමණ දුරකින්. ඔබ අධ්‍යාපනය, ව්‍යාපාර හෝ නිදහස් හා ස්වාධීන ජීවිතයක් සොයා ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න ඇති.

අද මම ඔබ සමඟත්, අප වෙනුවෙන් ඡන්දය ලබාදුන් මිලියන 18ක ජනතාව සමඟත් පොරොන්දුවක් දෙනවා. කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව වැනි රටක් බවට පරිවර්තනය කරනවා. අනාගත පරපුරට නිදහසේ අධ්‍යාපනය ලබාගෙන ජීවත් විය හැකි, නීතිය සැමට සමාන වන, ඔබටත් නැවත පැමිණ ජීවත් වීමට කැමති රටක් බවට එය පත් කරනවා,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග ජයගැනීමට හැකි ශක්තිමත් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ ආයෝජකයන්ට විශාල කාර්යභාරයක් පැවරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දූෂණයෙන් තොර, ආයෝජන හිතකාමී සහ විනිවිදභාවයෙන් යුත් නව ආර්ථික පරිසරයක් මේ වන විට රට තුළ නිර්මාණය කර ඇති බව සඳහන් කළ ඔහු, ශ්‍රී ලංකාවේ කාර්මික හා තාක්ෂණික දියුණුව ඉදිරියට ගෙන යාම සඳහා පෙරමුණ ගන්නා ලෙස ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Australia Sri Lanka Business Forum (ASLBF) විසින් සංවිධාන කළ මෙම උත්සවය මෙල්බර්න්හි The Grandeur හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මෙල්බර්න් කොන්සල් ජනරාල් ප්‍රදීපා සාරම්, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරික නායකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *