වසර 16කට පෙර අදවන් දිනක අප අතරින් නික්ම ගිය අසහාය බුද්ධ පුත්‍රයාණෝ

ශ්‍රී ලාංකික බොදුනුවන්ගේ මෙන්ම රටට ජාතියට ආදරය කරන බොහෝ පිරිසකගේද නොමද ගෞරවයට හා ආදරයට පාත්‍රවූ ධර්ම දේශකයාණන්වහන්සේ නමක් වූ අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ අපවත්වී අදට වසර 16ක් සපිරේ. 2003 වසරේ හරියටම අදවැනි දිනෙක සෝම හිමියන් අප හැර ගිය පුවත කණ වැකුණු බෞද්ධ අබෞද්ධ ජනී ජනයා ඇළලී ගියේ කිව නොහැකි තරම් වූ සොවකිනි. ඒ වෙනුවෙන් රටපුරා කහ ධජ එසැවිණි. බොහෝ පිරිසක් හැඬූ කඳුළෙන් සිටි ඒ සමයේ සෝම හිමියන් වෙනුවෙන් කවි ගීත පොත් පත් පිළිම ආදී ගුණසමරු රැසක් සිදුකෙරුණු නමුත් මේ වනවිට සෝම හිමියන්ගේ ගුණ බොහෝ පිරිසකට අමතකව ගොසිනි.

මෙරට කිසි කලෙක නොවූ විරූ පරිදි මිත්‍යාදෘෂ්ටික මතයන්ගෙන් ගහණ වූ සමයක මෙරට බෞද්ධ ජනතාවගේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් ලෙස ගංගොඩවිල සෝම හිමි හඳුන්වා දිය හැකිය. වර්ෂ 1948 බක් මස 24 දින ධර්මදාස පියාණන්ට හා චාලට් වීරතුංග මෑණියන්ට දාව මෙලොව එළිය දුටු සෝමරත්න දරුවා කුඩා කල සිටම දහමට නැඹුරුවීමක් දක්නට ලැබුණි. කුඩා කල සිට බුදු දහම ඉගෙන ගැනීමට මහත් ලැදියාවක් දැක්වූ කුඩා සෝමරත්න ගංගොඩවිල සුභද්‍රාරාමයේ ශ්‍රී රේවත දහම් පාසලෙන් දහම් අධ්‍යාපනයට අත්පොත් තබනවා. පසුව ඔහුගේ පවුල මිරිහානේ ස්ථිර පදිංචිය පැමිණි අතර මිරිහානේ ශ්‍රී රෝහණ දහම් පාසලට ඇතුල් වෙනවා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සෝමරත්න සිසුවා විෂය පොතපතට වඩා බුදු දහම පිළිබඳව ලියැවුණු පොත් කියවීමට වඩා උනන්දුවක් දැක්වීය. විසුද්ධි මාර්ගය, සද්ධර්ම සාගරය. අංගුත්තර නිකාය වැනි ගැඹුරු දහම් ග්‍රන්ථ පරිශීලනයට දැඩි නැඹුරුවක් දැක්වූ සෝමරත්න දරුවා වයස 26 වන විට ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් අම්පිටියේ රාහුල සහ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි දෙපළගේ සෙවනේ ගංගොඩවිල සෝම නමින් සසුන් ගත විය. නායක හිමිවරුන්ගේ පා සෙවනේ මැනවින් දහම් කරුණු උගත් සෝම හිමියෝ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්වූහ.

උන්වහන්සේගේ ධර්ම දේශනා විලාසය අනෙකුත් දේශකයාණන් වහන්සේලාට වඩා සුවිශේෂී මුහුණුවරක් ගත් දේශනා විලාසයක් වූහ. ධර්ම දේශනාව මුල සිට අග දක්වාම අසා සිටින අයට නීරසක් නොවන අයුරින් හා ‍ධර්මය ශ්‍රවණය කරන පිරිසගෙන් ප්‍රශ්න අසමින් දේශනාව තුළ ඔවුන් රඳවා ගැනීමේ සුවිශේෂී හැකියාවක් උන්වහන්සේ තුළ වූහ. සාම්ප්‍රදායික දේශන විලාසයෙන් ඉවත් වූ උන්වහන්සේ කාලානුරූපීව හා දේශානුරූපීව තම ධර්ම දේශනා පැවැත්වූ සේක.

පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසු විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණියේ නම්, ඒ අපේ ගංගොඩවිල සෝම හිමියන්ගේ බණ ඇසීමට යැයි මා පැවසුවහොත් කිසිවකු එයට විරුද්ධ නොවනු ඇත. සෝම හිමියන්ගේ ධර්ම දේශනා සඳහා මෙරට බෞද්ධයන් මෙන්ම විදෙස් රටවල බෞද්ධයන් ද වැල‍ නොකැඩී පැමිණියහ.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ තරුණ සීල සමාදානය පාදක කරමින් ඇරඹි තම ධර්ම දූත සේවා මෙරට පමණක් නොව විදේශයන්හි පවා පතුරුවා හැරීමට උන්වහන්සේ කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ‍වශයෙන් 1986 වසරේ දී ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් එරට වික්ටෝරියා ප්‍රාන්තයේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඇරඹූ අතර අපවත් වන තුරුම එහි විහාරාධිපති ධුරය දරන ලදී.

තරුණ ජීවිතය ධාර්මිකව හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය දහම් කරුණු තම ධර්ම දේශනා තුළින් සමාජ ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අප හිමියන් වටා තරුණ පිරිස් විශාල වශයෙන් එක්රොක් වන්නට වූහ. සෝම හිමි තරුණ හදවත්වලට කොතරම් සමීප ද යන්න උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සඳහා නිදහස් චතුරශ්‍රය වෙත ලක්දිව සිව්දෙසින් පැමිණි තරුණ පිරිස් කදිම සාක්ෂියකි.

අපේ සෝම හිමියන් බෞද්ධයන්ට දේශනා කරන ලද්දේ ගැඹුරු දහම් කරුණු ගැන නොව බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාව තුළින් පුද්ගල සංවර්ධනය ඇතිකර ගැනීම පිළිබඳවය.

අද්‍යතනය වන විට ජනතාව බිලිවී ඇති මිථ්‍යාදෘෂ්ටික මතයන්ට එරෙහිව අප හිමියෝ තම ධර්ම දේශනා තුළින් ජනතාවට සත්‍යය කුමක් දැයි පැහැදිලි කර දුන්හ. එසේම මූලධර්මවාදීන් විසින් විවිධ වරප්‍රසාදයන් දෙන මුවාවෙන් මෙරට බෞද්ධ ජනතාව මූලධර්මවාදී ආගම්වලට බඳවා ගනිමින් මෙරට බුදු දහමට මරු පහරක් එල්ල කරමින් සිටියදී ඊට නොබියව මුහුණ දෙමින් මිථ්‍යාදෘෂ්ටික දර්ශනයන්ගෙන් අන්ධවෙමින් සිටි ජනතාව ඉන් මුදා ගැනීම සඳහා උන්වහන්සේ ගම් නියම්ගම් පුරා සැරිසරමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සද්ධර්මය නැමති කගපතින් මිසදිටු අසුරයන් විනාශ කළහ. සිදුවෙමින් යන මෙම විනාශය පිළිබඳ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට පවා අප හිමියන් ලක්වූ අවස්ථා නැතුවාම නොවේ.

යහපත් යමක් කිරීමට යාමේදී එම කටයුත්ත සඳහා හිමිවිය යුත්තේ මල් වුව ද ඒ සඳහා එල්ල වනුයේ ගල් ය. එය පසක් කරමින් මීට ඉහත දී පැවසූ පරිදි අප හිමියන්ට ද මල්වලට වඩා එල්ල වූයේ ගල් ප්‍රහාරයන්ය. එහෙත් එම කිසිම දෙයකින් උන්වහන්සේ අධෛර්යමත් නොවූ අතර ඉන්ද්‍රඛීලයක් සේ නොබියව තම සසුනට, රටට හා ජාතියට තමා වෙතින් ඉටුවිය යුතු යුතුකම නොපිරිහෙළා ඉටු කළහ.

බෝධි පූජාව හා සෙත් පිරිත්, ධම්ම චින්තා, බුදු ගුණ මෛත්‍රී ශාන්තිය, මේ විපතින් ජාතිය ගලවන්නට නම්, සෞභාග්‍යයේ දොරටුව, රාහුල මාතා, දේව සංකල්ප, ධම්ම පදය, ලොව්තුරු සුවඳ හා බුද්ධ ස්ථූප වැනි දහම් ග්‍රන්ථ රචනය තුළින් ද අපේ හිමියන් බෞද්ධ ජනයා වෙත නිර්මල බුදු දහමේ පණිවුඩය බෙදා දුන් අතර, මිසදිටු වීමෙන් බුදු සස්න වැනසේ, කර්ම නියාමය, වසල සූත්‍රය, ධර්ම චරියාව, බුදු ගුණ දේශනය, මෛත්‍රී ප්‍රතිපදාව – කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් පවුලේ වගකීම යන කැසට් පට මඟින් ද ‍උන්වහන්සේ ජනතාව වෙත දහම් කරුණු රැගෙන යාමට පියවර ගත්හ.

ජනවිජය පදනම බිහිකිරීමේ පූර්වගාමියා ලෙස කටයුතු කරන ලද උන්වහන්සේ ඒ තුළින් දුසිරිතයෙන් තොර සමාජයක් බිහිකිරීමට මහත් වෙහෙසක් ගත්හ. මෙරට අපගේ බෞද්ධ ඉතිහාසය ගත් කළ වාදිභසිංහ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වල්පොල ශ්‍රී රාහුල හිමි, පානදුරේ අරියධම්ම හිමි වැනි සංඝ පීතෘවරුන්ගෙන් හිස්වූ සසුනේ අවකාශය සපුරන්නට සමත්කමක් ඇත්තා වූ මෑත කාලයේ සිටි එකම සංඝ පීතෘවරයාණන් වූයේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේය.

අදට වසර 16කට පෙර දෙසැම්බර් 12වැනි දිනෙක ලාංකික බොහෝ පිරිසක් හඬවමින් ඒ අවාසනාවන්ත පුවත අසන්නට ලැබිණි. ඒ සම්මානයක් ලබාගැනීමට රුසියාවට වැඩම කළ සෝම හිමියන් යළි මෙරටට වැඩම කරනුයේ පණ පිටින් නොවන බව දැනගත් නිසාය. සෝම හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ දෙනෙත්වලින් මළ හිරු බසින සැන්දෑ යාමයේ උන්වහන්සේගේ ‍ශ්‍රී දේහය ගිනිදැල් වෙළා ගනිද්දී ගලා ගිය කඳුළු ගංඟාවෙන් කියාපෑවේ ඒ සුන්දර සදහම් ස්වරය, ලෝකය පුරා පැතිරී ගිය පිරිත් ස්වරය කවදා නම් නැවත අසන්න ද යන්නයි.

සෝම හිමියන් අපවත් වී වසර 16 ක් ගතවන මේ වසර වන විට නැවතත් විවිධ නම්වලින් අටවාගත් මූලධර්මවාදීන්ගේ අඳු‍රු සෙවනැලි හොල්මන් කරමින් සිටින බව සඳහන් කළ යුතුය. එමනිසා එවැනි මූලධර්මවාදීන්ගෙන් බුදු දහම ආරක්ෂා කර ගැනීම සඳහා සියලු බෞද්ධයන් පෙළගැසිය යුතු කාලය එළඹ ඇත. එසේ වුවහොත් පමණක් තම ජීවිතය පවා කැපකර සසුනේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ නිර්මල පැතුම ඉටුකිරීමට කටයුතු කළ යුතුය.

සඟ රජ පදවි නොලැබුවත්, අපේ කාලයේ නිල නොලත් “සඟ රජ” ලෙස ජනතාව සදාකල් පුද දෙන “සිරි ධම්මරක්ඛිත වංසාලංකාර අනුවිජ්ජක අති පූජනීය ගංගොඩවිල සෝම නා සමිඳුට” අජරාමර නිවන් සුව අත්වේවා! යි

 

17 Comments

Leave a Reply

Your email address will not be published.