තල්දෙන වාරි ව්‍යාපෘතිය ස්ථිර ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 122.7ක් වෙන් කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල තල්දෙන වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (19) ආරම්භ විය.

සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන කිහිපයක වාරිමාර්ග යෝජනා ක්‍රමයට හානි සිදුව ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව තාවකාලික අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදී.

තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, විපතට පත් ප්‍රජාවන්ගේ ගොවිතැන් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා 2026 ජනවාරි සිට ජල සැපයුම නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.

ඊයේ ආරම්භ වූ තල්දෙන වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් රුපියල් මිලියන 122.7 ක මුදලක් වෙන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය අක්කර 350ක් පුරා වගා කිරීමට සහය වන අතර ප්‍රදේශයේ ගොවි පවුල් 415කට සෘජුවම ප්‍රතිලාභ ලැබේ. ප්‍රතිසංස්කරණ කටයුතු කලාපයේ කෘෂිකාර්මික කටයුතු සඳහා දිගුකාලීන සහ තිරසාර විසඳුමක් ලබා දෙනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, සොරොනාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම්වරුන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *