Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වන අලි සම්පත සුරැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ‘හස්ති සේනා’ දීපව්‍යාප්ත මෙහෙයුම පරිසර අමාත්‍යාංශය ආරම්භ කරයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් මුහුණ දෙන මාරාන්තික අනතුරු වළක්වා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ උග්‍ර වී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින්, ‘හස්ති සේනා’ නමින් විශේෂ දීපව්‍යාප්ත ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වයඹ වනජීවී කලාපයට අයත් ගල්කිරියාගම ප්‍රදේශයෙන් ඊයේ (02) මෙම මෙහෙයුම නිල වශයෙන් ආරම්භ කළ බවයි. එහි පළමු අදියර යටතේ දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇතැයි හඳුනාගත් වන අලින් 17 දෙනෙකු කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මෙම දැවැන්ත ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

අලි ගහනයෙන් 80%ක් ආවරණය වන දැවැන්ත සැලැස්ම

මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට වන අලි ගැවසෙන සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ මෙම ‘හස්ති සේනා’ මෙහෙයුම මඟින් ආවරණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඉතිරි සියයට 20ක ප්‍රමාණය වෙනම විශේෂ වැඩසටහනක් ඔස්සේ ආවරණය කිරීමට පියවර ගන්නා බවත්ය.

මෙම මෙහෙයුම යටතේ වන අලින්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කරන නීතිවිරෝධී ගිනිඅවි, හක්කපටස්, අනවසර නීතිවිරෝධී විදුලි වැටවල් සහ මදු ඇටවීම්වලට එරෙහිව අඛණ්ඩ වැටලීම් සහ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත.

හමුදාපතිගේ සෘජු අධීක්ෂණය

අමාත්‍යාංශ වාර්තාවලට අනුව, ආරම්භක මෙහෙයුම වෙනුවෙන් හමුදා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් මෙහෙයුම් කණ්ඩායම් 10ක් යටතේ කාණ්ඩ හයකට බෙදා ස්ථානගත කර තිබිණි. මෙම සමස්ත දීපව්‍යාප්ත මෙහෙයුම යුද හමුදාපති ලුතිනන් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

ගල්කිරියාගමදී පැවති ආරම්භක අවස්ථාව සඳහා වයඹ පළාත් වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

වනජීවී නිලධාරීන්, රාජ්‍ය ආයතන සහ ආරක්ෂක හමුදා ඒකාබද්ධ කරගනිමින් වන අලින්ගේ පැවැත්ම තහවුරු කිරීම සහ ගම්බද ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීම වෙනුවෙන් මෙම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ අදහස