රෝහල් අත්බෝම්බයේ සැකකරුවන් ඇමති නිල නිවසක් ගැනත් හෙළිකරයි

නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් අද අත්අඩංගුවට ගැනුණි.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසිනි.

කුරුණෑගල මහව ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසේ සැඟව සිටියදී සැකකරු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු හෙළි කළ තොරතුරු අනුව වැලිකන්ද නව මහසෙන්පුර පිහිටි ඔහුගේ නිවසේ පිටුපස වළදමා තිබියදී ජීව උණ්ඩ 18ක් සොයාගෙන තිබේ.

රිවෝල්වර් ෆෝ ෆයිව් වර්ගයේ උණ්ඩ 10ක් ,මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ  5ක් ඒ අතර වන බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙළි කර ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියාවක් සඳහා දින කිහිපයකට පෙර එහි ගිය අවස්ථාවේ නිවසේ ලාච්චුවක තිබී එම අත්බෝම්බය සහ උණ්ඩ ඔවුන් ලබාගත් බවය.

එම නිවසේ මේ වනවිට කිසිවෙක් පදිංචි වී නොමැති බවත් එම අත්බෝම්බය සහ උණ්ඩ එම නිවසට පැමිණි ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අත්බෝම්බය හමුවූ බව පැවසෙන අමාත්‍ය නිල නිවස වෙත රැගෙන ගියේය.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *