රූ රැජිනක් සමඟ වැලිකඩ බන්ධනාගාරයට ගිය රාජ්‍ය ඇමති

වැලිකඩ බන්ධනාගාරයට කොට කලිසමකින් සැරසී ඇතුළු වී කලහාකාරී ලෙස හැසිරුණු ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයාම පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට ද තම ආරක්ෂකයින් සමග ගිනිඅවියක් ද අතැතිව ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් සිටි බවය.

ඔහු එහිදී LTTE සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරුව එහි රඳවා සිටින සැකකරුවන් 08දෙනා අතුරින් සැකකරුවන් දෙදෙනෙකු ඉන් පිටතට කැඳවා දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ අතර අදාළ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ දැඩි කතාබහට ලක් වූ විවාහක රූ රැජිනක් සහ තවත් දෙදෙනෙකු සමග බව වාර්තා වේ.

එහිදී ඔහු අදාළ පිරිස සමග මරණ දඬුවම නියමව සිටින අපරාධකරුවන් රඳවා ඇති චැපල් වාට්ටුව මැදින් ‘එල්ලුම්ගහ’ ඇති ස්ථානය අසලට ගොස් තිබේ.

අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ එලෙස අනවසරයෙන් බන්ධනාගාරයට ඇතුළු වු රාජ්‍ය අමාත්‍යවරයා, ඔහු සමග පැමිණි පිරිසට ‘එල්ලුම්ගහ’ පෙන්වා ඇති බවය.

එම අවස්ථාවේදී අධික බීමතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයා දෙවතාවක් තම ගිනි අවියද සමග බිම වැටී ඇත.

මේ පිළිබඳ අප බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු පැවසුවේ, මාධ්‍යවල පළවූ ආකාරයේ සිදුවීමක් එම දිනයේදී වාර්තා වී නොමැති බවය.

අදාළ දිනයේදී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා තම කාර්යමණ්ඩලයේ පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් සමග ඔවුන්ගේ සමාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

එමෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, විෂයභාර ඇමතිවරයාට ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවී සාකච්ඡා කළ හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *