රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට වැටීම ගැන ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට මාධ්‍යවේදීන්ගෙන් විවේචන

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පත්ව ඇති බව වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන විවේචනය කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රකාශයට ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් විවේචන එල්ල වී තිබේ.

ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “රුමේෂ් දෙවැනි ස්ථානයට දැමීම ගැන ඇතැම් මාධ්‍ය සතුටු විය හැකි නමුත්, අපට නම් රුමේෂ් තවමත් ලෝකයේ අංක එකයි” යනුවෙනි.

කෙසේ වෙතත්, ක්‍රීඩා මාධ්‍යවේදීන් පෙන්වා දී ඇත්තේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් නිකුත් කර ඇති නිල ලෝක ශ්‍රේණිගත කිරීම් පමණක් බවයි.

දැනට එම ශ්‍රේණිගත කිරීම්වල ජර්මනියේ ජූලියන් වෙබර් පළමු ස්ථානයේත්, රුමේෂ් දෙවැනි ස්ථානයේත් පසුවෙයි.

ක්‍රීඩා මාධ්‍යවේදී සුමින්ද තාරක මහතාද අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පෙන්වා දී ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් නිශ්චිත ක්‍රමවේදයක් අනුව තීරණය වන බැවින් ඒවා පුද්ගලික කැමැත්ත අනුව වෙනස් කළ නොහැකි බවයි.

“ලෝක ශ්‍රේණිගත කිරීම් කියන්නේ වෙනම දෙයක්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අපට ඕන විදිහට ඒවා වෙනස් කරන්න බැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

වෙබර් මීට පෙර පැවති සති කිහිපය තුළ රුමේෂ් පළමු ස්ථානයේ සිටි බවත්, යුරෝපා ශූරතාවලියේදී මීටර් 90.40ක දුරක් වාර්තා කිරීමෙන් අනතුරුව වෙබර් යළිත් පළමු ස්ථානයට පැමිණි බවත් තාරක මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ රුමේෂ් අංක එකේ ක්‍රීඩකයා ලෙස සැලකීම ස්වභාවික නමුත්, එය නිල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම සමඟ පටලවා නොගත යුතු බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගයේදී රුමේෂ් වාර්තා කළ නව දක්ෂතාව හේතුවෙන් මීළඟ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේදී ඔහුට යළිත් ලෝක අංක එක ස්ථානය හිමිකර ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කෙරිණි.

රුමේෂ් ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගය ජයගත්තේ මීටර් 88.14ක දුරක් වාර්තා කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *