රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ජංගම වෙළෙඳුන් 8,895ක් මේ වන  විට ලියාපදිංචි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

එම වෙළෙඳුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 නියෝජනය කරමින් අදාළ ලියපදිංචි බලපත්‍ර නිකුත්කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ වෙත ජංගම වෙළෙඳුන් නොපැමිණියේ නම් හෝ පැමිණි වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට 011 – 2369139 යන දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මේ අතර හුදකලාභාවයට පත්කර ඇති ප්‍රදේශවලට බෙදාහැරීම සඳහා 5000 බඩු මල්ල සකස් කරනු ලබන රත්මලාන මෙගා සතොස අලෙවිසැල වෙළඳ අමාත්‍යවරයා අද පස්වරුවේ නිරීක්ෂණයට කළේය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “1998 අංකයට අමතලා 1 වෙනිදා සිට නිවසට ම භාණ්ඩ ගෙනැවිත් දෙන වැඩපිළිවෙලකුත් සකස්කරලා තියෙනවා.“ යනුවෙනි.

සමෘර්දිලාභින්, අඩු අදායම්ලාභින් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් අදායම් අහිමිවුවන් සඳහා රජය මගින් රුපියල් 5000 දීමනාව ලබාදීම සම්බන්ධයෙන් අද විෂය භාර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, “මේ තෝරාගැනීමේ බලය අපි විමධ්‍යගත කරලා තියෙනවා ග්‍රාමසේවා වසමට. කිසියම් කෙනෙකුගේ නම ඇතුළත් නොවෙනවා නම් ඔහු සුදුස්සෙක් නම් ඔහුව ඇතුළත් කිරීමේ බලය ග්‍රාමීය කමිටුවට හිමිවෙනවා. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය බලය දීලා තියෙනවා. ජනතාවට තේරෙනවා නම් මෙයාව තෝරාගෙන නෑ. නමුත් තෝරාගත යුතුයි කියලා අග්‍රාමාත්‍ය කාර්යලය විසින් මෙහෙයවන 1965 කියන අංකයට ඔවුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ හැකියි.“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *