රත්මලාන, ගොනා කෝවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී අවි ආයුධ කිහිපයක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 300,000ක මුදලක් සොයාගෙන තිබේ.
ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකය සිදුකළ වැටලීමේදී කඩු තුනක්, පොරවක්, කිනිසි තුනක්, අත්බෝම්බය සහ ජංගම දුරකථන අටක් සොයාගෙන ඇත.
රත්මලාන ආතර්ස් පෙදෙසේදී “අයිස්” ලෙස හැඳින්වෙන ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් මිලිග්‍රෑම් 1,000ක් සමඟ ගල්කිස්ස පොලිස් විශේෂ යතුරුපැදි ඒකකයේ නිලධාරියෙකු විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන නිවසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී අවි ආයුධ, මුදල් සහ ජංගම දුරකථන සොයාගෙන ඇති අතර, සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරු 29 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් සැකකරුවන් අවුරුදු 22, 24, 33, 36 සහ 51 යන වයස්වල පසුවන බව පොලිසිය සඳහන් කළේය. ඔවුන් රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


